ශ්‍රී ලාංකීය ඩිජිටල් නව්‍යකරණයේ පෙරගමන්කරු හෙළකුරු සමාගම ජාත්‍යන්තර ප්‍රමිතියේ අති නවීන කාර්යාලයකට

May, 27, 2019

ශ්‍රී ලාංකීය ඩිජිටල් නව්‍යකරණයේ පෙරගමන්කරු හෙළකුරු සමාගම පසුගියදා ජාත්‍යන්තර ප්‍රමිතියේ අති නවීන කාර්යාලීය නිවහනකට පියනැගුවා. 2011 වර්ෂයේ දී තරුණ ව්‍යාවසායක ඉංජිනේරු ධනික පෙරේරා මහතා විසින් ආරම්භ කළ හෙළකුරු සමාගම (භාෂා ලංකා පුද්ගලික සමාගම) මෙතෙක් ආ ගමනේ සුවිශේෂීම සංධිස්ථානයක් ලෙසයි මෙම අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ඉතිහාසයට එක් වුනේ.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැයින්තයින් රාශියකගේ සහභාගීත්වයෙන් පැවති මෙම නව කාර්යාල සමාරම්භක උළෙල සඳහා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ හිටපු ලේකම් වසන්ත දේශප්‍රිය මහතා ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගී වූ අතර, මොරටුව විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා ඉංජිනේරු හිටපු අධ්‍යායනාංශ ප්‍රධානී විශාඛා නානායක්කාර මහත්මිය, LK වසම් ලේඛණාධිකාරියේ ප්‍රධානී ගිහාන් ඩයස් මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනාංශ ප්‍රධානී ශාමන් උදයංග මහතා ඇතුළු විද්වතුන් ද, හෙළකුරු සමාගමේ සේවාලාභී හා හවුල්කාර ආයතන වන ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකු, ටෙල්කො සහ මාධ්‍ය ආයතන නියෝජිතය කරමින් විශේෂ ආරාධිතයින් රාශියක් ද, ආරම්භක-සමාගම් දිරිගැන්වීමේ ආයතන නියෝජනය කරමින් තවත් ආරාධිතයින් රාශියක්ද එක් වී සිටියා.

ශ්‍රී ලාංකීකයින්ගේ එදිනෙදා ඩිජිටල් ජීවිතයට අත්‍යාවශ්‍ය, සිංහල යතුරුකරණය ඇතුළු දෛනික ඩිජිටල් සේවාවන් රැසක්, තම ඩිජිටල් නිපැයුම් හරහා පිරිනමන හෙළකුරු සමාගම, මේ වන විට මිලියන 5 කට අධික වැඩිම ඩවුන්ලෝඩ් ගණනක් සහිත ශ්‍රී ලාංකීය ජංගම දුරකථන යෙදුම බවටත්, ශ්‍රී  ලංකීකයින්ගේ හදවතේ රැඳි අංක 1 කේ ඩිජිටල් සන්නාමය බවටත් පත් වී තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සහ උසස් ගුණාත්මයෙන් යුත් නව්‍ය ඩිජිටල් නිපැයුම්, දේශීය වෙළඳපොළට ගැළපෙන ලෙසින් දේශය හැඩයකින් හඳුන්වාදුන් දීම සහ නව්‍ය ව්‍යාපාර ආකෘතීන් යටතේ ප්‍රචලිත කිරීම හෙළකුරු සමාගමේ මේ සාර්ථකත්වයට හේතු වුනා. 

මේ වන විට "හෙළකුරු" සන්නාමයෙන් නොනැවතී, ශ්‍රී ලාංකීය ව්‍යාපාර සඳහා නව්‍ය අන්තර්ජාල ගෙවීම් සේවා හඳුන්වා දෙමින් පෙරට ආ නව "PayHere" ඩිජිටල් සන්නාමයත්, රටේ අනාගත පරපුරට නව්‍ය ඩිජිටල් අධ්‍යාපන ක්‍රමවේද හඳුන්වා දෙමින් පෙරට ආ "හපන්" ඩිජිටල් සන්නාමයත් හෙළකුරේ සහෝදර සන්නාමයන් ලෙස දේශීය වෙළඳපොළට එක් වී ඇති අතර, ඒවා මගින් ද ශ්‍රී ලාංකීකයින්ට පෙර අත්නොවිඳි නව්‍ය ඩිජිටල් සේවාවන් රැසක් සැපයෙනවා.

මෙතෙක් කල් නිපැයුම් මූලික කරගනිමින් ආරම්භක-සමාගමක් ලෙස කටයුතු කළ හෙළකුරු සමාගමේ මේ නව සමාගම් කාර්යාලීය සම්ප්‍රාප්තිය, මින් ඉදිරියට "ඩිජිටල් තාක්ෂණයන් හරහා මහජනයා සවිබලගැන්වීම" යන සමාගමික දැක්ම පෙරදැරි කරගනිමින් සමාජ අවශ්‍යතාවයන් සපුරා ලීමට කැප වූ පරිණත සමාගමක් වීමේ සංකේතාමක ප්‍රවිශ්ටයක් ලෙස දැක්විය හැකි බව මෙම උත්සවයේ ප්‍රධාන කථාව අතරතුර අදහස් දැක් වූ, සමාගමේ නිර්මාතෘ ධනික පෙරේරා මහතා සඳහන් කළා. එමෙන්ම මෙවන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අති නවීන කාර්යාලයක් තම කාර්යමණ්ඩලය හට තිළිණ කිරීම ව්‍යවසායකත්ව ජීවිතයේ ආරම්භයේ පටන් පැවති සිහිනයක් බවත්, වසර 8 කට පසු මෙදින කිසිඳු බාහිර ප්‍රාග්ධන ආයෝජනයකින් තොරව එම සිහිනය සැබෑ කරගත හැකි වූයේ තම කාර්යමණ්ඩලයේ කැපවීම සහ තම ඩිජිටල් සේවාවන් ගැන දේශීය පාරිභෝගිකයින් තැබූ අඛණ්ඩ විශ්වාසය නිසා පමණක්ම බවත් විශේෂයෙන් සඳහන් කළා.