සණස සංවර්ධන බැංකුවෙන් SPO නිකුතුවක්

    April, 6, 2021

    සණස සංවර්ධන බැංකුව විසින් ද්වීතියික මහජන කොටස් නිකුතුවක් (SECONDARY PUBLIC OFFERING - SPO) සිදුකරනු ලබන බව ඊයේ (05) දැනුම් දී සිටියේය.

    මේ අනුව මහජනයා වෙත නව කොටස් නිකුතුවක් කිරීමට ඊයේ (05) පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී තීරණය කර තිබේ. මෙහිදී ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 68 ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට නියමිත අතර ඒ සඳහා අධිදායකත්වයක් පැවතියහොත් තවත් කොටස් මිලියන 20 ක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇත. සමස්තයක් ලෙස මෙහිදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන මුළු කොටස් ප්‍රමාණය මිලියන 88 කි.

    කොටසක මිල නියම කිරීම නිකුතුව කරන දින සිට මාසයක කාලයක් පූර්වයෙහි පරිමාව අනුව බර තබන ලද සාමාන්‍ය මිල (Volume Weighted Average Price - VWAP) අනුව ගණනය කෙරෙනු ඇත.

    මූලික මහජන කොටස් නිකුතුවක් (IPO), කොටස් වෙළෙඳපොළේ දී සාමාන්‍යයෙන් දැකිය හැකි වුවද, ලැයිස්තුගත සමාගමක් මෙලෙස ද්වීතියික මහජන කොටස් නිකුතුවක් (SPO) සිදුකරන්නේ කලාතුරකිනි.