February, 12, 2021
මෙරට සමස්ත අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරිම ආරම්භ කෙරේ. මේ යටතේ ලිපි ගොණු පවත්වාගෙන යෑම අධිකරණ පද්ධතිය කළමනාකරණය ,නඩු වාර්ථා තබා ගැනීම හා නඩු වාර්ථා නිකුත් කිරීම,මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දඩ මුදල් ගෙවීම ඇතුළු සමස්ථ අධිකරණ ක්‍රියාවලියම ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇත.
අධිකරණ අමාත්‍යංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව ,තාක්ෂණ අමාත්‍යංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. ඒ පිළිබඳව වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම පසුගිය දා (10) අධිකරණ අමාත්‍යංශයේදී සිදු කෙරිණි. මීටපෙර යම් යම් අංශ පරිගණක ගතකිරීම් සිදුවුනත් ශ්‍රී ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම පිළිබද ඒකාබද්ධ වන පුළුල් නව වැඩපිළිවෙලක් මෙමගින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි පළමු අදියර ලබන 2022 වසර තුළ අවසන් කිරීමට නියමිතය. ඩිජිටල්රණ ක්‍රියාවලිය සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම් හා පසුවිපරම් ඇතුළු තාක්ෂණික මෙහෙයුම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් සිදුකෙරෙනු ඇත.
සමස්ත අධිකරණ පද්ධතියට අදාළ තොරතුරු හා වාර්තා සහ, නඩු කටයුතුවලට අදාළ ලිපිගොනු ශ්‍රි ලංකා තොරතුරු මේඝයේ (Lanka Government cloud ) ඇතුලත් කිරීමෙන් එහි ආරක්ෂාව තහවුරු කෙරේ. මෙම ව්‍යාපෘතිය මගින් අධිකරණ කටයුතු විධිමත් වීම කඩිනම් කිරීම, විනිවිද භාවය වියදම් අවමකර ගැනීම ඇතුළු වාසි රැසක් හිමිවේ. කෙටිපනිවුඩ සේවාමගින් අදාළ පාර්ශවයන්ට අධිකරණ කටයුතු දැනුම්දීමද සිදුකෙරෙනු ඇත. නීතිඥවරුන්, නීතිඥ සමාගම් රජය හා අදාළ අනෙකුත් පාර්ශවයන්ට ලැබෙන වාසිදායක තතත්වයන් නිසා අධිකරණ පද්ධතියේ ගුණාත්මක භාවයද වර්ධනය වනු ඇත. එමගින් ව්‍යාපාර පවත්වා ගෙන යෑමේ අන්තර්ජාතිික ශක්‍යතා දර්ශකයේ (Doing business index) ඉහලට යෑමට හැකිවන අතර එය ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය වැඩිවීමටද හේතුවනු ඇත.
මෙම ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය හා ප්‍රසම්පාදන කටයුතු ලබන මාර්තු මාසයේදී ක්‍රියාවට නැගීමට අපේක්ෂිතයි. එහිදී මෙරට සැපයුම්කරුවන්ට ප්‍රමුඛත්වය හිමිවන අතර සියළු අරමුදල් සැපයීම් මහා භාණ්ඩාගාරය මගින් සිදුකෙරේ. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට අධිකරණ අමාත්‍යය අලි සබ්‍රි, අධිකරණ අමාත්‍යංශයේ ලේකම් ඒම්.එම් .පි කේ මායාදුන්නේ අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම් සංජීව සෝමරත්න තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ජයන්ත ද සිල්වා, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වුහ.
Video Story