සම්පත් බැංකුව එහි ශක්තිමත් පදනම උපයෝගී කර ගනිමින් ජාතිය නැවත ගොඩනැගීමේ කාර්යය සඳහා උරදීමට සුදානම්ව සිටී

May, 29, 2020

Covid – 19 වසංගතය හමුවේ පැන වූ ඇඳිරිනිතී සීමා මධ්‍යයේ වුවද, සියලු අත්‍යවශ්‍ය බැංකු සේවාවන් කිසිඳු බාධාවකින් තොරව පවත්වා ගනිමින්, රට පුරා විසිරි සිටින සිය ගනුදෙනුකරුවන්ට හැකි උපරිම සේවාවක් ලබාදෙමින් සම්පත් බැංකුව සිය කැපවීම අඛණ්ඩව පෙන්නුම් කළේය. සිය ගනුදෙනුකරුවන්ට බැංකුව සමඟ ගනුදෙනු කිරිමට හැකිවන අයුරින් සම්පත් බැංකුවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර 429 සහ මුදල් තැන්පතු කිරිමේ යන්ත්‍ර 448, ඇඳිරිනිතීය පැවැති කාලය පුරාවටමද, 229 ක් වන ශාඛා ජාලය අවසරලද විට මුළුමනින්ම ක්‍රියාත්මක විය. ඩිජිටල් තාක්ෂණය සඳහා බැංකුවේ අඛණ්ඩ ආයෝජනය මෙම කාලසීමාව තුළ පරිභෝගිකයන්ට මනාව ප්‍රයෝජනවත් වූ අතර, “සම්පත් විශ්ව (App)” පුළුල් භාවිතය මඟින් එය මැනවින් පිළිඹිබු කෙරිණි. මෙම කාලසීමාව පුරාවට “සම්පත් විශ්ව” පහසු සහ කාර්යක්ෂම, විකල්ප ගෙවීමේ ක්‍රමයක් බව සනාථ විය.

COVID -19 වසංගතය පැතිරීම සිදු වූයේ 2019, අප්‍රේල් මස වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ බලපෑම් වලින් රටේ ආර්ථිකය සෙමින් යථාතත්වයට පැමිණෙමින් තිබු සමයකය. දැනට පවත්නා තත්වය හමුවේ, රටේ ආර්ථික පසුබෑමේ බලපෑම් තක්සේරු කළ නොහැකිය. COVID – 19 වසංගතය පැතිරී යාම, ශ්‍රී ලංකාව විසින් මනාව කළමනාකරණය කර ඇති බවට පෙනෙන්නට තිබුන ද, දේශිය හා ගෝලිය වශයෙන් පැනවූ සංචරණ සීමා හා සමාජ දුරස්ථභාවයන් හේතු කොට ගෙන පෙර අත්නොදකින ලද ආර්ථික බිඳවැටීමකට මුහුණ පෑමට සිදු වනු ඇත. මෙම සීමාවන් සැපයුම් දාමයට සැලකිය යුතු ලෙස බලපා ඇති අතර, රටේ සියලුම ව්‍යාපාර වලට අනෝන්‍යය වශයෙන් දැඩි ලෙස බලපානු ඇත.

මෙම පසුබිම මධ්‍යයේ වුවද, ඇති වූ අවාසනාවන්ත තත්වය මඟහරවා ගැනීම සඳහා සියලු පාර්ශවකරුවන්ට සහාය දීමට සම්පත් බැංකුව ඇපකැප වී ඇත. එසේම රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද විවිධ යෝජනා ක්‍රම යටතේ සහන සැලසීම සඳහා අවශ්‍ය සියලු පද්ධතීන් හා ක්‍රියාවලීන් බැංකුව විසින් දැනටමත් සකස් කර ඇත. ණය අයකරගැනීම් තාවකාලිකව අත්හිටුවීම, කාරක ප්‍රාග්ධන ණය සහන පොලී අනුපාත යටතේ ලබාදීම සහ සුදුසුකම්ලත් පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ණය ලබාදීම මඟින් නව ආයෝජන සඳහා සහාය වීම යනාදිය මේ යටතේ සිදුකරනු ලබයි.

COVID -19 වසංගතය හමුවේ බැංකු කර්මාන්තය මත වූ බලපෑම

අස්ථාවර ආර්ථික වාතාවරණය හේතුකොට ගෙන 2020 දී ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය සඳහා වූ අපේක්ෂාවන් අවම තත්වයක පවතී. රජය
විසින් නියම කරන ලද ණය සහන මඟින් පුද්ගලයන් සහ ව්‍යාපාරවලට ඇති බලපෑම අඩු වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය නිසැකව රටේ සියලුම බැංකුවල ද්‍රවශීලතාවය, ආදායම් වර්ධනය, ණය වර්ධනය සහ ණය ගුණාත්මකභාවය කෙරෙහි බලපානු ඇත. තවද, ලාභදායිත්වය කෙරෙහිද බලපානු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ඇතැම් නිතී රීති ලිහිල් කිරීම මඟින්, Covid –19 වසංගතය හමුවේ බලපෑමට ලක් වූ ව්‍යාපාර වලට සහාය වීමට බැංකු වලට ඉඩප්‍රස්තාව සලසා දීම ධනාත්මක කරුණක් ලෙස දැක්විය හැක. ප්‍රාග්ධන සංරක්ෂණ සීමා අවම කිරීම, අක්‍රිය ණය වර්ගීකරණ නීති ලිහිල් කිරීම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු කිරිම, ප්‍රතිව්‍යුහගත ණය වර්ගීකරණය කිරීමේ නීති වෙනස් කීරීම සහ අධීක්ෂණය අවශ්‍යතා සපුරාලීම දීර්ඝ කිරීම, මෙයට ඇතුලත් වේ. මීට අමතරව, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය (CASL) මෙම ගෝලීය වසංගත තත්වය හමුවේ මුල්‍ය වාර්තාකරණය කෙරෙහි වූ ක්ෂණික බලපෑම මර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග යෝජනා කරමින් උපදෙස් මාලාවක් ද නිකුත් කර ඇත.

බැංකුවේ අනාගතය

පවත්නා අභියෝග මැඩ පැවැත්වීම සඳහා, ඵලදායි කළමනාකරණ තීරණ සමඟ ස්ථිර උපායමාර්ගික සැලසුම් ඇතුළත් පුළුල් පදනම් ප්‍රවේශයක් සම්පත් බැංකුව අනුගමනය කරයි. වත්කම් සහ වගකීම් කළමනාකරණය කිරීමේදී සහ බැංකුවේ සියලුම ගිවිසුම්ගත බැඳීම් ඉටු කිරිමේදී බැංකුවේ කළමනාකරණ කණ්ඩායම මනා සුපරීක්ෂාකාරීව සිටින අතර, ගනුදෙනුකරුවන්ට සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ටසියලු සහන ලබාදීම ද සහතික කරයි.

අත්‍යවශ්‍ය මූලික ව්‍යාපාරික අවශ්‍යතා සඳහා පමණක් වියදම් සීමා කිරීමේ අරමුණින් දැනට ක්‍රියාත්මක වන සියලුම ව්‍යාපෘති සහ මෑතකාලීන යෝජනා නැවත ඇගයීමට ලක් කෙරේ. තවද, වරින් වර පැනනැගිය හැකි නව ව්‍යපාරික අවස්ථාවන් ග්‍රහණය කර ගැනීම සඳහා බැංකුව සුපරීක්ෂාකාරීව කටයුතු කරනු ඇත. මේ සම්බන්ධයෙන් බැංකුව තම සේවකයන්ගේ කුසලතා ඉහළ නැංවීමටත්, එවැනි අවස්ථාවන් සාර්ථකව උපයෝගී කරගැනීමට අවශ්‍ය තාක්ෂණය සඳහා අයෝජනය කිරීමටත් අපේක්ෂා කරයි. තවද, ශක්තිමත් ප්‍රාග්ධන පදනම, තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමේ ප්‍රවීණත්වය, සහ සම්පත් බැංකු සාමාජිකයන්ගේ කුසලතා හේතුකොටගෙන වර්තමාන අර්ථික අර්බුදය හමුවේ සම්පත් බැංකුවට මධ්‍ය කාලීනව හා දිගුකාලීනව නොසැලී සීටීමේ හැකියාව ඇත.

2020 වර්ෂයේ පළමු කාර්තුව සඳහා සම්පත් බැංකුවේ මූල්‍ය ප්‍රතිඵල

සියලුම බදුවලට පෙර මෙහෙයුම් ලාභය 10.8% කින් පහත වැටී ඇති අතර ණය ආපසු ගෙවීමේ බදු (DRL) සහ ජාතිය ගොඩනැගීමේ බදු (NBT) ඉවත් කිරිම නිසා බදු පසු ලාභයෙහි (PAT) මධ්‍යස්ථ වර්ධනයක් දක්නට ඇත.

සමාලෝචනයට භාජනය වී ඇති මෙම කාලපරිච්ජේදය, 2019 පළමු කාර්තුවේ දි නොදුටු සුවිශේෂි අභියෝගයන්ගෙන් පීඩනයට ලක් වී ඇත. Covid – 19 වසංගතය හමුවේ ලද අභියෝග සහ 2019 අප්‍රේල් මස වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇති වූ අවපාතය ඒ අතර මුලික වේ. එබැවින් 2020 වර්ෂයේ පළමු කාර්තුවේ ප්‍රතිඵල 2019 වර්ෂයේ අනුරූප කාල පරිච්ජේදය සමඟ සංසන්දනය කිරීම යථාර්ථවාදී නොවිය හැකි බව සැලකිල්ලට ගත යුතු කරුණකි.

බැංකුවේ වත්කම් සහ වගකීම් උපයෝගි කරගනිමින් ජනනය වූ සෑබෑ ප්‍රතිඵලය වන සියලුම බදු වලට පෙර මෙහෙයුම් ලාභය 10.8% කින් අඩු විය. මෙම පසුබැසීමට හේතු වූයේ ඉහත සඳහන් කළ හේතුන් වේ. සම්පත් බැංකුව 2020 වර්ෂයේ මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා රුපියල් බිලියන 3 ක බදු පෙර ලාභයක් වාර්තා කරන ලදී.

2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ මාස තුන සඳහා සම්පත් බැංකුව විසින් බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 2.5 ක් වාර්තා කර ඇති අතර එය 2019 වර්ෂයේ අනුරූපී කාලසිමාවේදී වාර්තා කල අගයට වඩා 15.7% ක වර්ධනයකි. බදු පසු ලාභය වර්ධනය කෙරෙහි බලපෑ සාධක දෙකක් වූ අතර, පළමුවැන්න මෙම කාර්තුව තුලදි ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල, රුපියල් 7.90 කින් අවප්‍රමාණය වීම හේතුවෙන් ඉහළ විනිමය ආදායමක් ලැබීම දැක්විය හැක. දෙවන කරුණ වූයේ, මුල්‍ය සේවා මත වූ ණය ආපසු ගෙවීමේ බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරිම හේතුවෙන් වූ බදු සහන වේ.

මේ අතර , සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ජේදය සඳහා සම්පත් සමූහය බදු පෙර ලාභය ලෙස රුපියල් බිලියන 3.3 සහ බදු පසු ලාභය ලෙස රුපියල් බිලියන 2.7 වාර්තා කර ඇති අතර එය 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදය තුළ පිළිවෙලින් රුපියල් බිලියන 2.8 ක් සහ රුපියල් බිලියන 2.1 ක් ලෙස වාර්තා විය.

අරමුදල් මත පදනම් වූ ආදායම (FBI)

පවත්නා අභියෝග හේතුවෙන් රටේ සාමාන්‍ය බර තබන ලද ප්‍රමුඛ ණය දීමේ අනුපාතය දළ වශයෙන් 3% කින් පහත වැටී ඇත. භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත වලද එවැනිම පහත වැටීමක් දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, සම්පත් බැංකුවේ ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 0.2 කින් පහත වැටී, 2020 වර්ෂයේ මාර්තු 31 දිනට රුපියල් බිලියන 9.98ක් වූ අතර එය 2019 පළමු කාර්තුවේ වාර්තා වූ අගයට සාපේක්ෂව 2.4% ක පහත වැටීමක් විය. කෙසේ වුවද, අභියෝගාත්මක තත්වයන් යටතේ, ශුද්ධ පොලී ආදායමේ පහත වැටීම 2.4% ක් දක්වා සීමා කිරීමට ඵලදායි අරමුදල් කළමනාකරණ උපාය මාර්ග උපකාරී වූ බව සැලකිල්ලට ගත යුතු කරුණකි. බැංකුව විසින් ශුද්ධ පොලී ආදායම අඛණ්ඩව අධීක්ෂණය කරනු ඇති අතර අනාගතයේදී ශුද්ධ පොලී ආදායම ප්‍රශස්ත මට්ටමෙන් ආරක්ෂා කරගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ද දියත් කරනු ඇත.

සමස්තයක් වශයෙන්, සමාලෝචනයට භාජනය වූ කාල සීමාව සඳහා පොලී ආදායම රුපියල් බිලියන 1.1 කින් පහත වැටී, රුපියල් බිලියන 24.5 ක් ලෙස වාර්තා වූ අතර, එය 2019 වර්ෂයේ අදාළ අනුරූපී කාලපරිච්ජේදය තුල වාර්තා වූ රුපියල් බිලියන 25.6 ට සාපේක්ෂව 4.3% කින් අඩු වී ඇත. තවද, සමාලෝචනයට භාජනය වූ කාලසීමාව සඳහා පොලී වියදම 5.5% කින් අඩු වි ඇත. 2019 වර්ෂයේදී වාර්තා වූ රුපියල් බිලියන 15.4 ට සාපේක්ෂව, 2020 මාර්තු 31 න් අවසන් වූ මාස තුන සඳහා සම්පත් බැංකුව රුපියල් බිලියන 14.5 ක පොලී වියදමක් වාර්තා කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2020 වර්ෂයේ පළමු කාර්තුව සඳහා වූ ශුද්ධ පොලී ආන්තිකය, 2019 දී වාර්තා වූ 4.46% ට සාපේක්ෂව 4.13% ක් දක්වා අඩු විය.

අරමුදල් මත පදනම් නොවන ආදායම (NFBI)

ණය, වෙළඳ, කාඩ්පත් හා විද්‍යුත් මාර්ග ආශ්‍රීත ගාස්තු යනාදියෙන් විශාල වශයෙන් සමන්විත වන ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම
සමාලෝචනයට භාජනය වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 2.2 ක් වූ අතර, එය 2019 වර්ෂයේ පළමු කාර්තුවෙහි වාර්තා වූ අගයට වඩා 1.4% ක ඉතා සුළු පහත වැටීමක් විය. විද්‍යුත් මාර්ග හරහා පිරිනැමෙන නව්‍ය අගය එකතුකිරීම සඳහා වූ දැඩි වෙළඳපල ආකර්ෂණය හේතුවෙන් මෙම පහත වැටීම අවම මට්ටමක තබා ගෙන ඇති අතර 2020 මාර්තු මාසයේදී Covid – 19 වසංගතය හමුවේ රට තුළ සංචරණ සීමා පැනවීම නිසා විද්‍යුත් මාර්ග භාවිතය වැඩිවීම මත එය තවදුරටත් වර්ධනය විය.

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 4.4 % කින් අවප්‍රමාණය වූ අතර ඒ හේතුවෙන් උපලබ්ධි විනිමය ආදායම වැඩිවීම නිසා ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම, 2020 වර්ෂයේ පළමු කාර්තුවේදී 321.6% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදයේදී වාර්තා කරන ලද රුපියල් බිලියන 1 ක් වූ අලාභයේ සිට 2020 වර්ෂයේ පළමු මාස තුන සඳහා වූ ශුද්ධ අනෙකුත් මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 2.3 ක් දක්වා වර්ධනය විය. ඉහත සඳහන් කල විනිමය අවප්‍රමාණය ‌හේතුවෙන් ඉදිරි විනිමය ගිවිසුම් තුළින් බැංකුවට රුපියල් මිලියන 664 ක ශුද්ධ වෙළඳ අලාභයක් දැරීමට සිදුවිය. එබැවින්, සමාලෝචනයට භාජනය වූ කාලපරිච්ජේදය සඳහා විදේශ විනිමය ගනුදෙනු මත වූ බැංකුවේ ශුද්ධ විනිමය ආදායම රුපියල් බිලියන 1.6 ක් විය.

මෙහෙයුම් වියදම්

2019 වර්ෂයේ පළමු කාර්තුවෙහි රුපියල් බිලියන 5.14 ක් වූ බැංකුවේ මුළු මෙහෙයුම් වියදම්, සමාලෝචිත කාලපරිච්ජේදය තුල 0.2% ක සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර එය 2020 වර්ෂයේ පළමු කාර්තුවේදී රුපියල් බිලියන 5.15 ක් විය. සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුලදී ක්‍රියාත්මක වූ පුළුල් පිරිවැය පාලන උපායමාර්ග හේතුවෙන්, මෙහෙයුම් වියදම් වැඩිවීම අවම මට්ටමක පැවැතිනි. එහි ප්‍රතිඵලයක් ලෙස බැංකුවේ ආදායම් පිරිවැය අනුපාතය (මුල්‍ය සේවාවන් මත වූ එකතු කල අගය මත බදු ඇතුලත් නොවූ) 2020 මාර්තු 31 වන විට 37.1% ක් වූ අතර එය 2019 වර්ෂයේ අනුරූපී කාලපරිච්ජේදය සඳහා වාර්තා වූ 39.6% වඩා සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

අපහායන අය කිරීම්

වාර්තා කරන දිනට Covid -19 වසංගතය හමුවේ ගනුදෙනුකරුවන් මත වූ බලපෑම සම්බන්ධයෙන් සාධාරණ සහ විශ්වාසදායක තොරතුරු නොමැතිකම හේතුවෙන්, කාර්තුව සඳහා වන අපහායන වෙන්කිරිම් ගණනය කිරිමේ පදනම ලෙස බැංකුව විසින් දිගුකාලීන ආර්ථික ප්‍රවණතා සැලකිල්ලට ගෙන ඇත. තවද, ආර්ථිකය ආරක්ෂා කරගැනීමේ අරමුණින් රජය විසින් සහන පැකේජයන් ලෙස හඳුන්වා දුන් බදු සහන සහ ණය අයකිරීම පමාකිරීම පිළිබඳව ද බැංකුව අවධානය ලක් කර ඇත. විවිධ සාර්ව ආර්ථික තත්වයන් සඳහා මේ දක්වා භාවිතා කරන ලද සම්භාවිතා බර තැබීම් වෙනස් කිරීම මඟින් කළමනාකරණ ආවරණයක් ලෙස බැංකුව සැලකිය යුතු වෙන්කිරීම් / ප්‍රතිපාදන සිදුකිරීම වැදගත් කරුණකි.

සම්භාවිතා බර තැබීම් වෙනස් කිරීම සහ අක්‍රීය ණය වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙස සමාලෝචිත කාලපරිච්ජේදය සඳහා වූ අපහායන අයකිරීම් ඉහළ අගයක් ගන්නා ලදී. 2020 වර්ෂයේ මාර්තු 31 න් අවසන් මුල් මාස තුන සඳහා වූ සමස්ත අපහායන අයකිරීම් රුපියල් බිලියන 4.9 ක් වූ අතර එය 2019 පළමු කාර්තුවේදී වාර්තා කළ රුපියල් බිලියන 3.5 ට සාපේක්ෂව 39.7% ක වැඩිවීමකි. 2019 මාර්තු 31 දිනට දළ අක්‍රීය ණය 6.72% ක් දක්වා වර්ධනය වී ඇති අතර එය 2019 වර්ෂයේ අවසානයේ වාර්තාවූයේ 6.37% ක් ලෙසය.

ව්‍යාපාර වර්ධනය

සමාලෝචනයට භාජනය වූ කාලසීමාව තුල සම්පත් බැංකුවේ සමස්ත වත්කම් පදනම 2.2% (වාර්ෂිකව 8.7%) කින් වර්ධනය වූ අතර එය 2020 මාර්තු 31 දිනට රුපියල් බිලියන 983 ට ළඟාවිය. සංසන්දනාත්මකව, 2019 දෙසැම්බර් 31 දිනට මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 962 කි. සමාලෝචනයට භාජනය වූ කාලසීමාව සඳහා රුපියල් බිලියන 24.8 ක වර්ධනයක් වාර්තා කරමින්, 2020 මාර්තු 31 දිනට දළ ණය සහ අත්තිකාරම් 3.4% (වාර්ෂිකව 13.9%) කින් වර්ධනය වී රුපියල් බිලියන 744 දක්වා ළඟා වී ඇත. එම කාලපරිච්ජේදය තුලදී 4.3% (වාර්ෂිකව 17.4%) වර්ධනයක් සහිතව මුළු තැන්පතු පදනම රුපියල් බිලියන 31.1 කින් වර්ධනය වී, වාර්තා කරන දිනට රුපියල් බිලියන 749 ක් ලෙස වාර්තා විය. මේ අතර, වාර්තාකරණ කාලපරිච්ජේදය අවසානයේදී ජංගම ගිණුම් ඉතුරුම් ගිණුම් (CASA) අනුපාතය 35.6% ක අගයක් වාර්තා කරන ලදි.

ප්‍රාග්ධන ප්‍රමාණාත්මතාව සහ කාර්යසාධන අනුපාත

2020 මාර්තු 31 දිනට බැංකුවේ පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවෙලින් 13.65%, 13.65% සහ 17.16% ක් වූ අතර වාර්තාකරන දිනට ඊට අනුරූපව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවම සිමාවන් වන 6.5%, 8% සහ 12% ට වඩා ඉහළ අගයකින් පැවැතුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2020 මාර්තු 27 සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාග්ධන සංරක්ෂණ ස්වාරක්ෂඛය 0.5% කින් අඩු කරන ලදී.

වාර්තාකරන දිනට දේශිය බැංකු ඒකකය හා අක්වෙරළ බැංකු ඒකකය සඳහා වන ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (SLAR) පිළිවලින් 22.18% සහ 31.05% ක් වූ අතර, 2020 මාර්තු 31 දිනට ආදායම් බදු අඩු කිරීමට පෙර සාමාන්‍ය වත්කම් ඉපැයුම් අනුපාතය (ROA) 1.26% ක් සහ ආදායම් බදු අඩු කිරීමට පසු සාමාන්‍ය ස්කන්ධ මත ඉපැයිම් අනුපාතය (ROE) 9.47% ක් විය.