සම්මාන හතරක් දිනා ගනිමින් කොමර්ෂල් බැංකුව පළමු ‘ඒෂියන් බෑන්කර් ශ‍්‍රී ලංකා’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී දිදුලයි

September, 11, 2019

බැංකුකරණය සහ තාක්ෂණය සම්බන්ධයෙන් විශිෂ්ටතාවයක් දැක්වූ ශ‍්‍රී ලාංකේය බැංකු සහ මූල්‍ය ආයතන ඇගයීම සඳහා පළමු වරට ශ‍්‍රී ලංකාවේ පැවැත්වූ ‘ඒෂියන් බෑන්කර් ශ‍්‍රී ලංකා’ සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව සම්මාන හතරකින් පිදුම් ලැබීමට සමත්විය.

මෙහිදී, බැංකුවට ‘හොඳම ණය ඇගයීමේ වැඩසටහන, අයදුම හෝ වැඩසටහන’ යන සම්මානය එහි අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය හරහා ක‍්‍රියාත්මක වන පුද්ගලික ණය ඉල්ලීමේ පහසුකමට හිමිවූ අතර ‘හොඳම ඵලදායීතා, කාර්යක්ෂමතා සහ ස්වයංක‍්‍රීයගත කිරීමේ වැඩසටහන, අයදුම සහ වැඩසටහන’ යන සම්මානය බැංකුවේ ප‍්‍රධාන බැංකුකරණ පද්ධතිය තුළින් මෙහෙයවූ ගිණුම් ඇරඹීමේ ක‍්‍රියාවලිය ස්වයංක‍්‍රීයගත කිරීම වෙනුවෙන් හිමිවිය. මේ අතර, මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුවේ පේ‍්‍රෂණ කාඞ්පත සඳහා ‘වසරේ පේ‍්‍රෂණ සේවාව’ යන සම්මානයත් බැංකුවේ ‘ටොප්-අප් ලීස්’ පහසුකම සඳහා ‘වසරේ වාහන ණය සේවාව’ යන සම්මානයත් දිනා ගැනීමට කොමර්ෂල් බැංකුව සමත් විය.

බැංකුවට ‘හොඳම ණය ඇගයීමේ වැඩසටහන, අයදුම හෝ වැඩසටහන’ යන සම්මානය හිමිවූයේ මීට පෙර ළඟාවීමට නොහැකි වූ ගනුදෙනුකරුවන්ට ළඟාවීමට වඩාත් ස්වයංක‍්‍රීයගත කළ ක‍්‍රියාවලිය සඳහායි. ගනුදෙනුකරුවන් අතර බැංකුවේ ඩිජිටල්කරණ සේවා ප‍්‍රචලිත කිරීමේ බැංකුවේ උපායමාර්ගික නැඹුරුවේ කොටසක් ලෙස මෙම සේවාව ඉදිරිපත් කර තිබෙන අතර මෙහිදී ණය ඉල්ලීමේ ක‍්‍රියාවලිය තුළදීම පුද්ගලික ණය පහසුකම් සඳහා ඉතාමත් කඩිනමින් අනුමැතිය ලබාදෙන ක‍්‍රියාවලියක් සකස් කර තිබෙන නිසා මෙය පාරිභෝගිකයින්ට ඉතාමත් ප‍්‍රයෝජනවත් වේ. මේ ආකාරයේ කඩිනම් සේවාවක් මෙරට අනිකුත් ආයතන මගින් මේ දක්වා ලබාදී නොමැත. මෙම පහසුකම නිසා පුද්ගලික ණය සඳහා අයදුම් කරන අපේක්ෂකයින්ට බැංකු ශාඛාවකට නොපැමිණ අන්තර්ජාල බැංකුකරණ පහසුකම මගින් පුද්ගලික ණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව හිමිවේ. මෙහිදී, අයදුම්කරුවා ණය අයදුම් කිරීම සඳහා සුදුසු නම් අදාළ ණය පහසුකම පිළිබඳ තීරණය කඩිනමින් ලබාදෙන අතර අවසාන අනුමැතිය ලබාදීම සඳහා අවශ්‍ය ලියකියවිලි සහ ණය තොරතුරු කාර්යංශ ණය තොරතුරු වාර්තාව පදනම් කරගනී.

අයදුම් පත‍්‍රයක් පිරවීමෙන් තොරව ජාතික හැඳුනුම්පතේ තොරතුරු ලබාගනිමින් ඉතාමත් සරලව බැංකු ගිණුමක් ආරම්භ කිරීම සඳහා බැංකුව විසින් හඳුන්වා දුන් ක‍්‍රියාවලිය ඇගයීමට ලක් කරමින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී බැංකුවට හොඳම ඵලදායීතා, කාර්යක්ෂමතා සහ ස්වයංක‍්‍රීයගත කිරීමේ වැඩසටහන වෙනුවෙන් වූ සම්මානය හිමිවිය. මෙම ක‍්‍රියාවලිය මගින් ගනුදෙනුකරුවාගේ කාලය ඉතිරි කරන අතර බැංකුවේ වෙබ් අඩවිය මගින් ගිණුමක් විවෘත කිරීමේ අවස්ථාවද මෙහිදී ගනුදෙනු කරුවාට හිමිවේ.

ගනුදෙනුකරුවන්ට ඉහළ ප‍්‍රතිලාභයක් සලසමින් අඩු පිරිවැයකින් විශාල ගෝලීය ගනුදෙනු ප‍්‍රමාණයක් කඩිනමින් සිදුකිරීම අගයමින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ‘වසරේ පේ‍්‍රෂණ සේවාව’ යන සම්මානය බැංකුවට ලබාදී තිබේ. මෙහිදි, බැංකුව විසින් නොමිලේ ලබාදුන් පේ‍්‍රෂණ කාඞ්පත මගින් මෙරටට විදේශ විනිමය ගෙනෙන ඉතාමත් වැදගත් කණ්ඩායම අතර ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීමට බැංකුවට හැකිවී තිබේ. තෝරාගත් වෙළඳසැල් වලින් වට්ටම් සහ හදිසි ණය පහසුකම් ලබාදීම මෙම පේ‍්‍රෂණ කාඞ්පත මගින් ලැබෙන අමතර ප‍්‍රතිලාභ වේ.

මෙහිදී, බැංකුවේ ටොප්-අප් ලීස් පහසුකම සඳහා ‘වසරේ වාහන ණය සේවාව’ යන සම්මානය බැංකුවට හිමිවූ අතර මේ ආකාරයේ මෙරට තිබෙන එකම පහසුකම වන්නේ මෙයයි. මෙහිදී, පුද්ගලික පරිහරණය සඳහා වාහනයක් මිලදීගැනීමට ලීසිං පහසුකමක් ලබාගෙන තිබෙන ගනුදෙනු කරුවෙකුට ඕනෑම විටක එම ලීසිං පහසුකම තවදුරටත් වැඩිකර ලබාගැනීමට අවස්ථාව හිමිවේ. මේ තුළින් ගනුදෙනුකරුවන්ට ඇතිවන හදිසි මූල්‍ය අවශ්‍යතා පියවා ගැනීම සඳහා සහයෝගයක් බැංකුව විසින් ලබාදී ඇත. මේ අනුව, මෙම සේවාව සඳහා බැංකුව විසින් දිනාගත් සම්මානය මගින් ඇගයීමට ලක් කර තිබෙන්නේ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු සේවාවක් මගින් ගනුදෙනු කරුවන් ආකර්ශනය කර ගැනීමට බැංකුව දක්වා තිබෙන හැකියාවයි. එසේම, ශක්තිමත් අවධානම් කළමනාකරණයක් වෙනුවෙන් වන බැංකුවේ වත්කම්ද මෙහිදී ඇගයීමට ලක් කර තිබීම කැපී පෙනේ.

ද ඒෂියන් බෑන්කර් ශ‍්‍රී ලංකා වැඩසටහන මේ වසරේදී ආරම්භ කළ අතර මෙහි අරමුණ වන්නේ ශ‍්‍රී ලංකාවේ තිබෙන බැංකු සහ මූල්‍යායතනවල තරගකාරීත්වය ඇගයීමයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම අට වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 846 ක් සහ බැංකු ශාඛා 266 ක් පවත්වාගෙන යයි. 2016 සහ 2017 යන වසර වලදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන රැසක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව 2018 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 40 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී.

 

සේයාරූ සටහන - ඒෂියන් බෑන්කර් ශ‍්‍රී ලංකාසම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන පිළිගත් කොමර්ෂල් බැංකුවේ සාමාජිකයින් (දක්‍ෂිණාවර්තව) ශාඛා ණය අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු උපුල් පෙරේරා මහතා, අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අපර්ණා ජාගොඩ මහත්මිය, පාරිභෝගික සේවා දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කළමනාකරු සනත් ඇල්පිටිය මහතා සහ බැංකුවේ ඩිජිටල් බැංකුකරණ අංශයේ ප‍්‍රධානී ප‍්‍රදීප් බන්දුවංස මහතා.