සයිටම් ලැයිස්තුගත කිරීමට පියවර

    April, 20, 2017

    මාලබේ සයිටම් පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (20) දින කොළඹ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති හමුවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

    එසේම වෙනමම කවුන්සිලයක් මඟින් මෙහි පාලන කටයුතු සිදුකරනු ලබන බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා තිබේ.

    කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ප්‍රධාන සහ දිරිසවි යනුවෙන් පුවරු දෙකක් වන අතර මෙහිදී යම් සමාගමක් ලැයිස්තුගත කිරීමේ දී අදාළ පුවරුව අනුව සැපරිය යුතු අවශ්‍යතාවයන් පහත පරිදි වේ.

    ප්‍රධාන පුවරුව
    1. ලැයිස්තුගත කරන අවස්ථාවේ සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 500 ට වඩා නොඅඩු විය යුතුය.
    2. ලැයිස්තුගත අවස්ථාව දක්වා වන අඛණ්ඩ පූර්ව වසර 3 කදී ශුද්ධ ලාභයක් ලබා තිබිය යුතුය.
    3. ලැයිස්තුගත කරන දිනට ආසන්න වසර 2 තුළ දී ශුද්ධ වත්කම් වටිනාකම ධනාත්මක විය යුතුය.
    4. අවම මහජන පංගුව මුළු කොටස් ප්‍රමාණයෙන් 25% ක් විය යුතු අතර අවම වශයෙන් කොටස් 100 කට වඩා හිමිකම් කියනු ලබන කොටස්කරුවන් 1,000 ක් අවම වශයෙන් සිටිය යුතුවේ.

    දිරිසවි පුවරුව
    1. ලැයිස්තුගත කරන අවස්ථාවේ දී සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 100 ට වඩා නොඅඩු විය යුතුය.
    2. ලැයිස්තුගත කරන දිනට ආසන්න වසර තුළ පවතින ශුද්ධ වත්කම් වටිනාකම ධනාත්මක විය යුතුය.
    3. අවම මහජන පංගුව මුළු කොටස් ප්‍රමාණයෙන් 10% ක් විය යුතු අතර අවම කොටස්කරුවන් ප්‍රමාණය 200 ක් විය යුතුය.
    4. සමාගම ලැයිස්ගුත කරනු ලබන දිනට පෙර අවම වශයෙන් වසරක කාලයක්වත් ක්‍රියාත්මකව තිබිය යුතුය.