ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව පිළිබඳ වැඩසටහන හරහා දිවයින පුරා කාර්යමණ්ඩල සාමාජිකයන් 170,000 කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ

March, 25, 2020

සිය රැකියා ස්ථානයේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සාර්ථකව ගොඩ නංවන ලද කාන්තාවන් සහ පිරිමින් 16 දෙනෙකු පසුගියදා ඇගයුමට ලක් කරමින් ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකුවන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්ව දියත් කරනු ලබන Women in Work වැඩසටහනේ නව පියවර වන "Together We Can" (එක්ව අපට හැකිය) වැඩසටහන පසුගියදා දියත් කෙරිණි.

"Together We Can" නව වැඩසටහන මගින් රැකියා ස්ථානයේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව පිළිබඳ ව්‍යාපාරික ප්‍රතිලාභ ඉස්මතු කෙරේ. දැනට ක්‍රියාත්මක වන SheWorks Sri Lanka හවුල්කාරිත්වය යටතේ, කාන්තාවන් හට රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රමුඛ පෙළේ සේවායෝජකයන් 16 දෙනෙක් කැප වී සිටිති.

මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් නිෂ්පාදන සමාගමක්වන බ්‍රැන්ඩික්ස් (Brandix) සමාගම ද එම සමාගම් 16 අතර වෙයි. "අපගේ සේවක සේවිකාවන් රැකියාවේ නිරත වන අතරතුර ඔවුන්ගේ දුවාදරුවන් රැක බලා ගැනීමට සහයෝගය දැක්වීමේ ක්‍රියාමාර්ග හේතුවෙන්, මාතෘ නිවාඩුවලට පසුව සේවිකාවන් සියලු දෙනාම පාහේ යළි සේවයට ගෙන්වා ගැනීමට සහ ඔවුන් රැකියා ස්ථානය තුළ රඳවා ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඒ හරහා අප සහ ඉහළ ජාත්‍යන්තර ගැනුම්කරුවන් අතර ඇති සබඳතාව වර්ධනය කර ගැනීමට අපට හැකි වී තිබෙනවා," යනුවෙන් බ්‍රැන්ඩික්ස් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී අනුෂා අලස් මහත්මිය සඳහන් කළාය.

"Together We Can", SheWorks වැඩසටහන හරහා රැකියා ස්ථානය තුළ කාන්තා සහභාගිත්වය උපරිම තලයකට ගෙන ඒම සහ ව්‍යාපාරික කාර්යසාධනය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපාරික විසඳුම් දියත් කිරීම අරමුණු කොට ක්‍රියාත්මක කෙරේ.

"වසර ගණනක පටන් සිදු කෙරුණු අධ්‍යයන මගින් හෙළි වූ කරුණු මෙම සමාගම් 16 මගින් මනාව තහවුරු වුණා. එනම්, සමාගම්වල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය වර්ධනය වීම කාර්යමණ්ඩල සාමාජිකයන්ටත් සේවායෝජකයන්ටත් යහපත් ලෙස බලපානවා. ගෝලීය වශයෙන්, ශක්තිමත් කාන්තා නායකත්වයක් සහිත සමාගම් අනෙකුත් සමාගම්වලට වඩා වැඩි ආයෝජන ප්‍රතිලාභ අත්කර ගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) 'Together We Can' වැඩසටහන සමග සම්බන්ධ වීමට හැකිවීම පිළිබඳ ආඩම්බරවන අතර ඉදිරියේදී අපට 'එක්ව අපි යමක් සිදු කළෙමු' (Together We Did) යි කීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වනවා," යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන කළමනාකාරිණි අමෙනා අරීෆ් මහත්මිය ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකා සහ මාලදිවයින් ඕස්ට්‍රේලියානු තානාපති ඩේවිඩ් හෝලි මහතා, වඩාත් උසස් ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවක් සඳහා කැපවුණු සමාගම් 16 ට සිය සුබපැතුම් පිරිනැමුවේය. "ශ්‍රී ලංකාව තුළ පුළුල් ආර්ථික අවස්ථා පවතින බව අප දන්නවා. එම අවස්ථාවලින් ඵල නෙළා ගැනීමට නම් කාන්තාවන් හට ඇති අවස්ථා වැඩිදියුණු කිරීම අත්‍යවශ්‍ය වනවා. මෙම සමාගම් එම තත්ත්වය ඇති කිරීම සඳහා මූලිකත්වය ගෙන අනෙකුත් සමාගම්වලට ද එවැනි විශිෂ්ට ක්‍රමවේද අනුගමනය කිරීමට දිරිමත් කරනු ඇති බව අපගේ අපේක්ෂාවයි" යනුවෙන් තානාපතිවරයා අදහස් පළ කළේය.

AIA ඉන්ෂුවරන්ස් ලංකා, බ්‍රැන්ඩික්ස් ලංකා, CBL සමූහය, ඩීමෝ, ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස්, හෙළ ක්ලෝතින්ග්, හේමාස් හෝල්ඩින්ස්, Jetwing, ජෝන් කීල්ස් හෝල්ඩින්ස්, London Stock Exchange සමූහය, MAS Holdings, ජාතික සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, South Asia Gateway Terminals, ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව සහ Virtusa යන සමාගම් SheWorks වැඩසටහනේ සාමාජිකත්වය දරයි.