සියලු ජාල Huawei සමගයි

July, 10, 2019

ශ්‍රී ලංකාවේ සියලු ම විදුලි සංදේශන ජාල පවතින්නේ Huawei සමාගම සමග බවත් එම සමාගම මෙරට විදුලි සංදේශන කර්මාන්තයට සහයෝගය ලබාදී ඇති බවත් මෙරට තුළ දැනට සේවා කටයුතු වල නොයෙදෙන විදුලි සංදේශ ආයතනයක තාක්ෂණය භාවිත කරනවාට වඩා Huawei ආයතනයක තාක්ෂණය භාවිත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බවත් විදුලි සංදේශන, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

 

"ශ්‍රී ලංකාවට සැබවින් ම චීනයේ සහයෝගය හිමි වී තිබෙනවා. එබැවින් දැනට ශ්‍රී ලංකාවේ නොමැති සමාගමක තාක්ෂණයට වඩා ඔවුන්ගේ තාක්ෂණය භාවිත කිරීම වඩාත් උචිතයි" China Global Television Network (CGTN) නාලිකාව සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෑතකදී චීනයේ ෂැන්හයි හිදී පැවති Mobile World Congress (MWC) 2019 සමුළුවට සමගාමීව මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්විණි.

 

CGTN ආයතනය සඳහන් කරන ආකාරයට, බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල Huawei මෙවලම් කැපී පෙනෙන මට්ටමකින් භාවිතයේ පවතී.

 

Huawei Wireless හි ප්‍රධාන විධායක නිලධාරී පෙං හොංහුවා සඳහන් කළේ, එම සමාගම පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සඳහා පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 4ක් වැය කර තිබූ බවය. එම සමාගම 3GPP ව්‍යාපෘතියට 18,000 කට අධික දායකත්ව ප්‍රමාණයකින් දායකත්වය ලබා දී ඇති බවත් ගෝලීය වශයෙන් අත්‍යවශ්‍ය පේටන්ට් බලපත්‍ර 20% කට පමණ හිමිකම් කියන බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

 

‘5G is on!’ The technology is everywhere තේමාව යටතේ පැවැත්වුණු 2019 Mobile World Congress සමුළුවේදී දුරස්ථ පාලක කැණීම් යන්ත්‍රවල සිට රොබෝ යන්ත්‍ර දක්වා විවිධ තාක්ෂණික යෙදවුම් රැසක් ප්‍රදර්ශනය කෙරිණි. 2019 Mobile World Congress යනු, 5G, IoT, AI, big data ආදී ඉදිරි තාක්ෂණික ක්‍රමවේද සඳහාවන ආසියාවේ ප්‍රමුඛත ම සම්මන්ත්‍රණයයි. තාක්ෂණික ක්ෂේත්‍රයේ වඩාත් බලපෑම් විධායක නිලධාරීන් රැසක් මෙහිදී ජංගම තාක්ෂණ කර්මාන්තය පිළිබඳ සිය අදහස් සහ දැක්ම බෙදාහදා ගත්හ.