සියලු ණය සේවාකරණ ගෙවීම් නියමිත කාලයට සිදුකරන බව රජය අවධාරණය කරයි

May, 21, 2020

තම ණය සේවාකරණ ගෙවීම් සිදු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට ඇති හැකියාව සම්බන්ධයෙන් මෑත කාලීන මාධ්‍ය වාර්තා මගින් ප්‍රශ්න කරමින් විවිධ අනුමානයන් ඉදිරිපත් කර ඇති බව රජයට පෙනී ගොස් ඇත. ශ්‍රී ලංකාව ස්වෛරී ණය අර්බුදයකට පත් වීමේ අවදානමක් ඇති බව ඇඟවීම සඳහා එවැනි තත්ත්වයන්ට පත් ව ඇතැයි පැවසෙන වෙනත් ස්වෛරී රාජ්‍යයන් සමඟ සංසන්දනය කරමින් සමහර මාධ්‍යයන් විසින් සිදු කරනු ලබන අනුමානයන් පිළිබඳ ව රජය සිය අප්‍රසාදය පළ කරනු ලබයි. ශ්‍රී ලංකා රජය විසින් මෙවැනි පදනම් විරහිත ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන අතර, ඉදිරියේ දී සිදු කිරීමට නියමිත සියලු ම ණය සේවාකරණ ගෙවීම් නියමිත කාලයට සිදු කරනු ලබන බවට සියලු පාර්ශ්වකරුවන් වෙත නැවත නැවතත් අවධාරණය කරනු ලැබේ.

ශ්‍රී ලංකා රජයේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ඵලදා අනුපාතිකයන්හි සිදු වූ මෑත කාලීන විචලනයන්, කොවිඩ්-19 වසංගත කාල සීමාව තුළ නැගී එන සහ ප්‍රමුඛ වෙළෙඳපොළ ආර්ථික බහුතරයක් තුළ දක්නට ලැබෙන තත්ත්වයන්ට වඩා වෙනස් නො වේ.  එවැනි විචලන තත්ත්වයක් යටතේ වුව ද, ගෝලීය ආයතනික ආයෝජකයින්, අරමුදල් කළමනාකරුවන් සහ විශ්ලේෂකයින් විසින් ශ්‍රී ලංකාවේ ණය කළඹේ ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ විශ්වාසයකින් ආයෝජන සඳහා ශ්‍රී ලංකා ණය උපකරණ නිර්දේශ කිරීම සැලකිය යුතු කරුණකි.

මහ මැතිවරණය පැවැත්වීම සහ රාජ්‍ය අයවැය ඉදිරිපත් කිරීම අනපේක්ෂිත ලෙස කල් දැමීමට සිදු වීම, අවිනිශ්චිත ප්‍රතිපත්තිමය සැලසුමක් හෝ ක්‍රියා පටිපාටිමය අත්හිටුවීමක් ලෙස කිසිදු විටක නො සැලකිය යුතු බවත්, එම ක්‍රියාමාර්ග කෝවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අනුගමනය කරනු ලැබූ සෞඛ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිචාරයන්හි ප්‍රතිඵලයක් බවත් රජය විසින් පැහැදිලි කරනු ලබයි. තව ද, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වාර්ෂික අයවැයක් සම්මත කර නොමැති අවස්ථාවක දී මහ මැතිවරණයකින් පසු නව පාර්ලිමේන්තුව කැඳවා මාස තුනක කාලයක් දක්වා රාජ්‍ය මෙහෙයුම් කටයුතු සඳහා අනුමැතිය ලබා දීමට අතිගරු ජනාධිපතිවරයාට බලය ඇත.  මේ අනුව, රාජ්‍ය මෙහෙයුම් කිසිදු බාධාවකින් තොර ව ක්‍රියාත්මක වන අතර, මහ මැතිවරණය පවත්වනු ලබන දිනය හා සම්බන්ධ අවිනිශ්චිතතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳ ව ලබා දීමට නියමිත තීන්දුවෙන් පසු ව පහ ව යනු ඇත.

මීට සමගාමී ව, වියදම් අඩුකිරීම සඳහා රජය විසින් දැනටමත් පියවර ගෙන ඇති අතර, රජයේ අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම නිසා මෙම වසරේ අමතර වියදම් සඳහා ඇති අවකාශය නිතැතින් ම සීමා වනු ඇත. තව ද, මෙම වසරේ මේ දක්වා කාලය තුළ දී දේශීය හා විදේශීය ප්‍රභවයන්ට අදාළ රජයේ මූල්‍යන පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.   මූල්‍යනය නියමයන් හා කොන්දේසි ඵලදායී ලෙස වැඩි දියුණු කිරීම සඳහා පූර්වෝපායී ක්‍රියාමාර්ග ලෙස වෙළෙඳපොළ පදනම් කර ගත් විවිධ මූල්‍ය ප්‍රභවයන්ගෙන් සහ නිල මූල්‍ය ප්‍රභවයන්ගෙන් අරමුදල් රැස් කර ගැනීමට රජය විසින් පියවර ගන්නා ලදී.  ලොව පුරා පවතින අස්ථාවර වෙළෙඳපොළ තත්ත්ව යටතේ රජය විසින් මෑත කාලීන ව ජාත්‍යන්තර බැඳුම්කරයක් නිකුත් කිරීමට අපේක්ෂා නො කරන බැවින් ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළේ පවත්නා ඵලදායිතා අනුපාතිකයන්හි බලපෑම අදාළ නො වනු ඇත. ණය කළමනාකරණයෙහි අවදානම සහ පිරිවැය මත ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික මූල්‍යන මූලාශ්‍ර පිළිබඳ ව අවධානය යොමු කරනු ලබන අතර, මේ සඳහා සාකච්ඡා සිදු කෙරෙමින් පවතී. තව ද, ශ්‍රී ලංකාව අනෙකුත් කලාපීය මහ බැංකු සමඟ හුවමාරු ගිවිසුම්වලට (SWAP) එළඹීමට කටයුතු කරමින්  සිටින අතර, තෝරා ගත් විදේශීය මූලාශ්‍රයන්ගෙන් ඒකාබද්ධ ණය ලබා ගැනීමට ද කටයුතු සූදානම් ‌කෙරෙමින් පවතී.

මේ අතර, කොවිඩ්-19 වසංගතය පැතිර යාමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඇති වූ බලපෑම අපේක්‍ෂා කළ කාලයට පෙර යථා තත්ත්වයට පත් වීම, ඉදිරි කාල පරිච්ඡේදය තුළ රාජ්‍ය  මූල්‍ය මෙහෙයුම් ඒකාග්‍රතාව ඇති කිරීමට රජය ගන්නා උත්සාහයන්ට සහය ලබා දෙනු ඇත. ආර්ථික කටයුතුවලට අවම බලපෑමක් ඇති වන පරිදි, කෙටි කාලයක් තුළ වසංගතය පැතිරීම සාර්ථක ව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි ව  තිබේ. ශ්‍රී ලංකාව මාර්තු මස දෙවන භාගය, අප්‍රේල් මස, සහ මැයි මස පළමු භාගය යන සති අටක කාල සීමාවක් සඳහා අර්ධ වශයෙන් සංචරණ සීමා පනවන ලදී. මෙම කාලය තුළ දී ද බොහෝ කාර්යාල, මූල්‍ය ආයතන, කර්මාන්තශාලා, බෙදාහැරීමේ සේවා, කෘෂිකාර්මික සේවා, රාජ්‍ය සේවා ආදිය ක්‍රියාත්මක විය. සෑම වසරක ම අප්‍රේල් මාසය උත්සව සමයක් වන නිසා මෙම කාල සීමාව තුළ දී ආර්ථික ක්‍රියාකාරකම් නිතැතින් ම පහළ මට්ටමක පවතී. රජය සහ මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද උත්තේජන ක්‍රියාමාර්ග තුළින්, වසංගතය පැතිරී යාමෙන් පීඩාවට පත් වූ පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට කඩිනමින් නැවත නැගී සිටීමට සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, 2020 වසරේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 1.5ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන අතර, එයින්  වැඩි ප්‍රමාණයක් වසරේ දෙවන භාගයේ දී සිදු වනු ඇත.

ශ්‍රී ලංකාවේ අපනයන හා සංචාරක අංශ කඩිනමින් යථා තත්ත්වයට පත් වීමට සූදානම් වෙමින් සිටින අතර, එමගින් විදේශීය අංශයට ඇති පීඩනය ලිහිල් ‌කෙරෙමින් ආර්ථික  ක්‍රියාකාරකම් වේගයෙන් යථා තත්ත්වයට පත් කිරීමට සහය වනු ඇත. නවතම වෙළෙඳපළ තොරතුරුවලට අනුව, සෞඛ්‍ය සහ ආරක්ෂාව සම්බන්ධ උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා කර්මාන්තශාලාවලට නව අතිරේක ඇණවුම් ලැබී තිබේ. ප්‍රධාන ආනයනකරුවන්ගේ පැවති ඉහළ ඉල්ලුම හේතුවෙන්, තේ වැනි ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයන භාණ්ඩ සඳහා වෙන්දේසිවල දී  වාර්තාගත ඉහළ මිලක් ලැබී තිබේ. අමතර සෞඛ්‍ය ආරක්ෂක  ක්‍රමවේදයන් අනුගමනය කරමින් සංචාරකයින් නැවත පිළිගැනීම සඳහා ඉක්මනින් නැවත කටයුතු ආරම්භ කිරීමට හෝටල්  සූදානමින් සිටී. එ පමණක් නො ව, ඉන්ධන ආනයන වියදමේ අඩු වීම සහ අත්‍යවශ්‍ය නො වන වෙළෙඳ භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති තාවකාලික සීමාවන් වෙළෙඳ ශේෂයට ඇති අහිතකර බලපෑම අවම කිරීමට පිටුවහලක් වනු  ඇතැයි අපේක්ෂා කෙරේ. මේ අනුව, කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක, ප්‍රවාහන අංශය සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ කෙරෙහි තාවකාලික අහිතකර බලපෑම් ඇති වුව ද,  වෙළෙඳ ගිණුමේ හිඟය පහළ යෑම මඟින් 2020 වසරේ දී ජංගම ගිණුමේ හිඟය පහළ මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පදනම් විරහිත අනුමානයන් සහ සැසඳීම්වලට පටහැනි ව, ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් වීමට දැනටමත් පියවර ගෙන ඇති අතර ක්‍රමික ව රට පුරා ව්‍යාපාර විවෘත වෙමින් පවතී. මෙම පසුබිම තුළ, ඇතැම් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් මෑත කාලීන ව කරන ලද අවදානම් තක්සේරු කිරීමේ සහ ශ්‍රේණිගත කිරීමේ තීරණ පිළිබඳ ව ශ්‍රී ලංකා රජය නිසැක ව ම එකඟ නො වේ.

අවසාන වශයෙන්, අතීතයේ දුෂ්කර කාල සීමාවල දී පවා ශ්‍රී ලංකාව සිය සියලු ණය සේවාකරණ වගකීම් නියමිත කාලය තුළ සිදු කිරීමට ඇති කැපවීම පෙන්නුම් කර ඇති ආකාරයෙන් ම අනාගතයේ දී ද සියලු ම ආයෝජන සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් එම වගකීම් අඛණ්ඩ ව ම ඉටු කරන බව රජය අවධාරණය කරනු ලබයි‍.