සියැට් කැළණි නිෂ්පාදනය වර්ධනය කිරීම හමුවේ දේශීය රබර් කර්මාන්තයේ ආදායම් ඉහළට

    September, 23, 2020

    සැප්තැම්බර් මාසයේ රබර් මිලදීගැනීම් වලින් පමණක් දේශීය නිෂ්පාදකයින්ට රුපියල් මිලියන 150 ක ආදායමක්

    ටයර් සඳහා දේශීය ඉල්ලූම සපුරාලීම සඳහා සිය නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීම හමුවේ දේශීය වෙළඳපොළින් මාසිකව මිලදී ගන්නා ස්වභාවික රබර් ප‍්‍රමාණය සැප්තැම්බර් මාසය වන විට 35% කින් වර්ධනය වී ඇතැයි මෙරට ප‍්‍රමුඛතම ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම අනාවරණය කර ඇත.

    සිය ස්වභාවික රබර් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම දේශීයව සපුරා ගන්නා සියැට් සමාගම 2020 සැප්තැම්බර් මාසයේදී මෙරට වෙළඳපොළින් ස්වභාවික රබර් ටොන් 500 ක් (කිලෝ 500,000 ක්) දක්වා මිලදී ගනු ඇති බව සඳහන් කරයි. මෙම මිලදීගැනීම වෙනුවෙන් සමාගම විසින් රුපියල් මිලියන 150 ක මුදලක් වැයකරන අතර එම ආදායම් කෑගල්ල, කළුතර, රත්නපුරය සහ මොණරාගල ප‍්‍රදේශවල රබර් වගාකරුවන් අතර ප‍්‍රධාන වශයෙන් බෙදී යන බව සමාගම පෙන්වා දෙයි.

    කොවිඞ්-19 වසංගත තත්ත්වය ඇතිවීමට පෙර 2019 දෙසැම්බර් මාසයේ සිට 2020 පෙබරවාරි මාසය දක්වා මාසයකට දේශීය වෙළඳපොළින් සාමාන්‍යයෙන් රබර් ටොන් 366 ක් පමණ සමාගම මිලදීගත් බවත් ඒ වෙනුවෙන් මාසයකට රුපියල් මිලියන 107 ක් පමණ සාමාන්‍ය අගයක් වැයකළ බව ද සමාගම පවසයි.

    ‘සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් පවත්වා ගැනීමට ප‍්‍රධාන හේතුවක් වන්නේ මෙරට ස්වභාවික රබර් තිබීමයි. අපි සෑමවිටම දේශීයව අගය එකතු කිරීම උපරිම කිරීමට කටයුතු කරනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, රවී ඩඞ්ලානි මහතා පැවසීය. ‘රජය විසින් තාවකාලිකව පනවා තිබෙන ආනයන සීමාවට ප‍්‍රතිචාර දක්වමින් අපගේ නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීම නිසා පසුගිය මාස හතක කාල සීමාව තුළදී දේශීය ස්වභාවික රබර් නිෂ්පාදකයින් වෙත අපි සිදුකළ දායකත්වය අගයක් ලෙස ගතහොත් 40% කින් පමණ වර්ධනය වී තිබෙනවා.’

    ආනයන ආදේශනය තුළින් විදේශ විනිමය ඉතිරි කරගැනීමේ රජයේ උත්සාහයට සහයෝගය දක්වමින් සමාගම විසින් ට‍්‍රක්, බස්, රේඩියල් සහ යතුරු පැදි ටයර් නිෂ්පාදනය වර්ධනය කළ අතර මේ තුළින් දේශීය කර්මාන්ත වලට පශ්චාත් කොවිඞ්-19 සමයේ V හැඩයේ යථාතත්ත්වයකට පත්වීමට සහයෝගයක් ලබාදී ඇතැයි ඩඞ්ලානි මහතා සඳහන් කළේය.

    සියැට් කැළණි සමාගම මෙරට වෙළඳපොළින් ස්වභාවික RSS රබර් මිලදීගැනීම සඳහා වෙළඳ නියෝජිතයින් 30 දෙනෙකු සමග සම්බන්ධ වී සිටින අතර ඔවුන් සමග දිනපතා කටයුතු කරයි.

    මොවුන් සමග දිනපතා වෙළඳ ගනුදෙනු කිරීමට අමතරව RSS රබර්වල ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරීමට අවශ්‍ය දැනුමද සමාගම විසින් මොවුන්ට ලබාදීම කැපී පෙනේ. ‘අපි නිරන්තරයෙන් අපගේ වෙළඳ නියෝජිතයින් පිළිබඳව සුපරීක්ෂාවෙන් සිට අප මිලදීගන්නා රබර්වල ගුණාත්මක තත්ත්වය ඉහළ දැමීම සඳහා ඔවුන්ට සහයෝගය දෙනවා,’ යනුවෙන් ඩඞ්ලානි මහතා වැඩිදුරටත් පැවසීය. ‘මේ නිසා, අපගේ වෙළඳ නියෝජිතයින්ගෙන් බහුතරයක් ‘සියැට් අනුමත ස්වභාවික රබර් වෙළෙඳුන්’ යන පිළිගැනීම ලබාගැනීමට සමත්වී තිබෙනවා. මෙම පිළිගැනීම තුළින් ඔවුන්ට සියැට් වෙත අඛණ්ඩවම ස්වභාවික රබර් සපයනවාට අමතරව අනිකුත් දේශීය කර්මාන්ත සඳහාත් ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ස්වභාවික රබර් සැපයීමට අවස්ථාවක් උදාකර තිබෙනවා.’

    කොවිඞ්-19 සීමාවන් හමුවේ සියැට් සමාගම සිය නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කළ අතර මේ වනවිට මෙරට ට‍්‍රක් සහ බස්රථ ටයර් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සමාගම විසින් නිෂ්පාදනය කරමින් රජයට වසරකට රුපියල් බිලියන 11 ක විදේශ විනිමයක් ඉතිරිකර දීමට සූදානමින් සිටී. එසේම, පසුගිය මාස තුනක කාලය තුළදී සමාගම විසින් නිෂ්පාදනය කළ යතුරු පැදි ටයර් ප‍්‍රමාණය 85% කින් වර්ධනය වී තිබෙන අතර ඒ තුළින් වසරකට ඉතිරිකර දීමට සූදානම් වන විදේශ විනිමය ප‍්‍රමාණය රුපියල් මිලියන 350 කි.

    සියැට් කැළණි සමාගම මේ වනවිට වසරකට විවිධ අංශවල ටයර් මිලියන 02 ක් නිෂ්පාදනය කරන අතර අළුතෙන් සවි කර ඇති යන්ත‍්‍ර සූත‍්‍ර සහ නව තාක්ෂණය තුළින් තවත් අමතර මෝටර් රථ සහ වෑන් රථ රේඩියල් ටයර් 200,000 ක් නිෂ්පාදනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.

    සියැට් කැළණි සමාගම සඳහන් කරන්නේ නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීම සඳහා අමතර ආයෝජනයක් සිදුකිරීම සහ වෙළඳපොළ මිල ගණන් වැඩිවීම හමුවේ වුවද පාරිභෝගිකයින්ට සහ ආර්ථිකයට සහයෝගය දැක්වීම සඳහා සමාගම විසින් 2019 දෙසැම්බර් මාසයේ සිට අලෙවිකරන ටයර්වල මිල ගණන් වෙනස් නොකළ බවයි.
    මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා - ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම 2018 ජනවාරි මාසයේදී නිෂ්පාදන ධාරිතාවය, තාක්ෂණය සහ නිෂ්පාදන සංවර්ධනය වැඩි දියුණු කිරීම වෙනුවෙන් ආයෝජනය කළ රුපියල් බිලියන 03 සමග මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 ක මුදලක් ආයෝජනය කර තිබේ. සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රි රෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.