සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනයට ජාත්‍යන්තර උපදේශක සමාගමක සහාය

    March, 25, 2021

    සෘජු විදේශ ආයෝජන ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක ගාමක බලවේගයක් වුවත්, පසුගිය වසර කිහිපය තුළ විභව ආයෝජකයින් සෘජුව ඉලක්ක කළ හැකි උපායමාර්ග හඳුනාගෙන නොතිබීම හේතුවෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ ක්‍රියාවලිය දුර්වල වී ඇත.
    ශ්‍රී ලංකාව හා තරගකාරී රටවල් විසින් ඉතා ඉහළ සෘජු විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට පසුගිය කාලය තුළ පියවර ගෙන ඇති නමුත් ශ්‍රී ලංකාවට 2019 වර්ෂයේදී ලබාගත හැකි වූ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණි.
    එබැවින්, ආයෝජන සඳහා සුදුසුම සත්කාරක රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ආකර්ශණීය බව විදහා දැක්වීම සඳහා හොඳින් සැලසුම් කළ, සුසංයෝගී සහ කේන්ද්‍රගත අලෙවිකරණ හා සම්බන්ධීකරණ උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
    ඒ සඳහා සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා දායකත්වය සපයන ඉහළ පෙළේ ජාත්‍යන්තර උපදේශක සමාගමක සේවය ලබා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.