සෙලාන් බැංකුව අති උත්කර්ෂවත් සම්මාන උළෙලකින් විශිෂ්ටයන් අගයයි

April, 29, 2019

සෙලාන් බැංකුවේ විශිෂ්ටයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙල (Performance Awards) මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවති එම උත්සවයේදී සෙලාන් බැංකුවේ 170 කට අධික ශාඛා ජාලය තුළ සේවය කරන පිරිස අතරින් ඉහළම දක්ෂතා දැක්වූ අතිවිශිෂ්ටයෝ ඇගයීමට ලක්වූහ.

ශාඛා, දෙපාර්තමේන්තු සහ ප්‍රාදේශීය මට්ටමේ ඉලක්ක සපුරමින් විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කරන පුද්ගලයන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ අඛණ්ඩව 7 වන වරට ය. 2018 වසර තුළ ඉහත සඳහන් ඉලක්ක පසුකර ගිය පුද්ගලයෝ මෙවර සම්මාන උළෙලේදී සම්මාන වලින් පිදුම් ලැබූහ.

කාණ්ඩ 7 ක් යටතේ මෙවර සම්මාන පිරිනමන ලදි. විශිෂ්ටතම ශාඛාව ලෙස සෙලාන් බැංකුවේ බම්බලපිටිය ශාඛාව සම්මානයට පාත්‍ර වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් බත්තරමුල්ල සහ කොට්ටාව ශාඛා වෙත හිමි විය. විශිෂ්ටතම ප්‍රාදේශිකය ලෙස සම්මාන දිනාගත්තේ නාගරික (මෙට්‍රොපොලිටන්) 2 ප්‍රාදේශිකයි.

ප්‍රධාන සම්මාන වලට අමතරව විවිධ කාණ්ඩ යටතේ ජයග්‍රහණය කළ ශාඛා හා දෙපාර්තමේන්තු වෙනුවෙන් තවත් සම්මාන 51 ක් පිරිනැමිණි. තැන්පතු, අත්තිකාරම්, ජංගම ගිණුම්, ඉතුරුම් ගිණුම් සහ ආනයන අපනයන සේවා වැනි කාණ්ඩ යටතේ මෙලෙස සම්මාන පිරිනමන ලදි.

සම්මාන උළෙල පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසී ය. “2018 වසරේදී විවිධ තත්ත්වයන් මැද පවා විශිෂ්ට සේවාවක් සලසමින්, පාරිභෝගික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් අපගේ කාර්ය මණ්ඩලය පෙන්නුම් කර ඇති දක්ෂතා සම්බන්ධයෙන් මා බෙහෙවින් සතුටු වනවා. මෙය සෙලාන් පවුලේ වැදගත්ම අංග දෙක වන ගනුදෙනුකරුවන් සහ කාර්ය මණ්ඩලය අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ කැපවීම සම්බන්ධයෙන් ඉතා හොඳ සාක්ෂියක්. අපගේ වටිනාම සම්පත ලෙස අප සලකනුයේ අපගේ මානව සම්පතයි. එහි දියුණුව වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරමින් මෙරට බැංකු ක්ෂේත්‍රයට පූර්වාදර්ශ සැපයීමට අප දිගින් දිගටම කටයුතු කරනවා.”

ඡායාරූපය: විශිෂ්ටතම ශාඛා කාණ්ඩයේ ජයග්‍රහණයන්: ප්‍රථම ස්ථානය - බම්බලපිටිය ශාඛාව (ඉහළ), දෙවන ස්ථානය - බත්තරමුල්ල ශාඛාව (වමේ) සහ තුන්වන ස්ථානය - කොට්ටාව ශාඛාව (දකුණේ)