සෙලාන් බැංකුව My Brochure Portal හඳුන්වා දෙයි

    November, 26, 2021

    සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් ‘My Brochure Portal’ නමින් විශේෂ ද්වාරයක් සිය නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. සෙලාන් බැංකුවේ සේවාවන් සම්බන්ධ නවතම තොරතුරු ඇතුළත් ප්‍රචාරණ පත්‍රිකා, අත්පත්‍රිකා සහ වීඩියෝ දර්ශන ආදිය මෙම ද්වාරයට ඇතුළත් කර තිබේ. මින් ඉදිරියට මෙම ද්වාරයට පිවිසීම මගින් ගනුදෙනුකරුවන් සෙලාන් බැංකුවේ සේවාවන් පිළිබඳ නවතම තොරතුරු ඉතාමත් පහසුවෙන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

    අත්පත්‍රිකා යනු, සමාගමක හෝ ආයතනයක නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා භාවිතා කළ හැකි ඉක්මන් හා පහසු මාධ්‍යයකි. එහෙත් ලොව පුරා පවතින COVID-19 තත්ත්වය නිසා අත්පත්‍රිකා ආදිය මුද්‍රණය කිරීම හා බෙදාහැරීම අනාරක්ෂිත කටයුත්තක් බවට පත්වී ඇත. තවද COVID-19 තත්ත්වය මෙන්ම ඒ හේතුවෙන් වරින්වර පනවනු ලබන සංචරණ සීමා ආදිය නිසා, අත්‍යවශ්‍යම කරුණකදී හැර ගනුදෙනුකරුවන් බැංකු ශාඛා වෙත පැමිණීමෙන් වැළකීමද සිදුවිය. මේ කරුණු සියල්ල සැලකිල්ලට ගනිමින්, පරිගණක සහ ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් උපාංග ඔස්සේ පහසුවෙන් පිවිසිය හැකි ද්වාරයක් හරහා තම සේවාවන් පිළිබඳ නවතම තොරතුරු ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දීමට සෙලාන් බැංකුව තීරණය කරනු ලැබීය. මෙම ද්වාරයට පිවිසෙන පුද්ගලයන්ට මෙම අත්පත්‍රිකා අන්තර්ජාලය ඔස්සේ කියවීමට හා බාගත (download) කරගැනීමට අමතරව සමාජ මාධ්‍ය ඔස්සේ තම හිතමිතුරන් සමග බෙදාහදා ගැනීමටද අවස්ථාව ලැබේ.

    සමාගම් හා ආයතන තම නිෂ්පාදන හා සේවාවන් යාවත්කාලීන කරන සෑම අවස්ථාවකදීම ඒ සම්බන්ධ ප්‍රචාරණ පත්‍රිකා අලුතින් මුද්‍රණය කිරීමට සිදුවන අතර, බොහෝ විට අවිධිමත් ලෙස බැහැර කරනු ලබන මෙම පත්‍රිකා පරිසර දූෂණයට හේතුවන කරුණක් බවටද පත්වී ඇත. එම නිසා, ඩිජිටල් ද්වාරයක් ඔස්සේ මෙම අත්පත්‍රිකා නැරඹීමේ අවස්ථාව ලබාදීමට සෙලාන් බැංකුව කටයුතු කිරීම බෙහෙවින් පරිසර හිතකාමී පියවරකි. මින් ඉදිරියට සුරක්ෂිත ලෙස තම නිවෙස් වලම හිඳිමින්, පරිසරයටද බලපෑමක් නොවන ආකාරයට සෙලාන් බැංකුවේ සේවාවන් පිළිබඳ නවතම තොරතුරු එසැණින් දැනගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබෙනු ඇත.

    තමන් භාවිතා කරන වෙබ් බ්‍රවුසරය තුළට https://www.seylan.lk/my-brochures ලිපිනය ඇතුළත් කිරීමෙන් හෝ සෙලාන් බැංකුවේ නිල වෙබ් අඩවිය හරහා ‘Seylan My Brochure – E-Brochure Portal’ වෙත පිවිසිය හැකි වේ.

    COVID-19 හමුවේ වෙනස් වූ ජීවන රටාවන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ට සේවාවන් සැපයීම සඳහා සෙලාන් බැංකුව මේ වනවිට පුරෝගාමී පියවර රැසක් ගෙන ඇත. සිය ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, පාරිභෝගික අවශ්‍යතා කළමනාකරණය කිරීම සඳහා අති-නවීන දත්ත මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම, PayHere සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් ඔස්සේ ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීම සහ අන්තර්ජාලය ඔස්සේ සෙලාන් ටිකිරි ළමා ගිණුම් විවෘත කිරීමේ පහසුකම සලසා දීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. තම ගනුදෙනුකරුවන්ට ඉහළම ප්‍රතිලාභ සලසන අතරම, විශේෂයෙන්ම අනාගතයේ COVID-19 තත්ත්වය පහව ගිය පසුව එළඹෙන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට හැකි පරිසරයක් මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් නිර්මාණය කර දීම සඳහා, එම ව්‍යවසායකයන්ගේ දැනුම හා කුසලතා නංවාලීමේ වෙබිනාර් වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීමටද සෙලාන් බැංකුව පියවර ගෙන තිබේ.

    සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216 ක ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්‍ර 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK) යන්ත්‍ර 86 කට ද හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A (lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇති අතර දැන් එම බැංකුව S&P Dow Jones SL 20 දර්ශකයටද ඇතුළත් වී සිටී. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

    ඡායාරූපය: සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා My Brochure Portal නිල වශයෙන් දියත් කළ අවස්ථාව