සෙලින්කෝ ලයිෆ් පිට පිටම හතරවන වසර සඳහාත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මාන ලබයි

September, 1, 2017

ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම බවට පිට පිටම හතර වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සමාගම 2017 වසරේදී තෝරාගෙන තිබෙන අතර මේ සඳහා පාදක කරගෙන තිබෙන්නේ සමාගමේ 2016 වසරේ කාර්ය සාධනයයි.

එංගලන්තය පදනම් කරගත් ගෝලීය ආර්ථිකය සහ මූල්‍ය කර්මාන්තය පිළිබඳව විශ්ලේෂණාත්මකව ගැඹුරින් කරුණු දක්වන ගෞරවණීය සඟරාවක් වන ‘වර්ල්ඞ් ෆයිනෑන්ස්’ විසින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ මෙහෙයුම් සහ කාර්යසාධනය පිළිබඳව සිදුකළ ගැඹුරු තක්සේරුවකින් පසුව මෙම සම්මානය ලබාදී ඇත.

මෙම සඟරාව විසින් සිදුකළ තක්සේරුවේදී සමාගමේ ප‍්‍රාරක්ෂණ ක‍්‍රියාවලිය සහ ක‍්‍රියාවලී කාර්යක්ෂමතාවය, ගනුදෙනුකරුවන්ගේ රක්ෂණ ඔප්පු සමාලෝචනයට ලක්කරමින් රක්ෂණ ඔප්පු නඩත්තු කිරීම,  රක්ෂණ ඔප්පුවක ආවරණයේ සහ පිරිවැයේ යෝග්‍යතාවය, අවධානම කළමණාකරණය, පාරිභෝගිකයින් රඳවා ගැනීමේ අනුපාතය, වන්දි ගෙවීමට සඳහා ගතවන සාමාන්‍ය කාලය, නව ගනුදෙනුකරුවන් බඳවා ගැනීමේ අනුපාතය සහ මූල්‍ය ස්ථාවරත්වය, රක්ෂණ වාරික ආදායම්, වෙළඳපොළ කොටස, ජීවිත අරමුදල සහ සමාගමේ ලාභය යන කරුණු පිළිබඳව අවධානය යොමුකර තිබේ.

‘මෙම සම්මානය ලබාදීම සඳහා සිදුකරන ගැඹුරු තක්සේරුවේදී වෙළඳපොළ කොටසට එහා ගොස් සමාගම විසින් රක්ෂණ ඔප්පුහිමියන් සමග කටයුතු කරන ආකාරයේ ගුණාත්මක තත්ත්වය සහ ප‍්‍රධාන අංශ වලදී යහක‍්‍රමවේදයන්ට සමාගම දක්වන ළැදියාව පිළිබඳව සොයා බලනවාල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘මෙය විවිධ වූ පාර්ශවකරුවන්ගේ දෘෂ්ටි කෝණය සලකා බලන ඇගයීමක්. මේ නිසා, මෙය රක්ෂණ ඔප්පුහිමියන්ට, කොටස්කරුවන්ට, සේවකයින්ට සහ නියාමකයින්ට සමාගම පිළිබඳව ලැබුණු හොඳ සහතිකයක්.’

සෙලින්කෝ ලයිෆ් සමාගම පිට පිටම 13 වන වතාවටත් ශ‍්‍රී ලංකාවේ අංක එකේ රක්ෂණ සමාගම බවට පත් වෙමින් 2016 වසර අවසන් කළ අතර එහිදී රුපියල් බිලියන 15 ක රක්ෂණ වාරික ආදායමක් සමගින් රුපියල් බිලියන 23.43 ක සමස්ත ආදායමක් වාර්තා කළේය. 2016 වසරේදී සමාගම රුපියල් බිලියන 3.1 ක ශුද්ධ ලාභයක් වාර්තාකළ අතර ආයෝජන කළඹ රුපියල් බිලියන 80.75 ක් දක්වාත් වත්කම් රුපියල් බිලියන 96.45 ක් දක්වාත් වර්ධනය කර ගන්නා ලදී. මේ වසරේදී සමාගම විසින් සිය රක්ෂණ ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 6.8 ක දළ හිමිකම් සහ ප‍්‍රතිලාභ ගෙවා ඇත.

වර්ල්ඞ් ෆයිනෑන්ස් සඟරාව විසින් 2007 වසරේදී ආරම්භ කළ මෙම සම්මාන වැඩසටහන මගින් සෑම වෙළඳ පොළක් පිළිබඳව ඉතා ඉහළ පුළුල් විශ්ලේෂණයක් කරනු ලබයි. විනිශ්චය මණ්ඩලය විසින් මෙම විනිශ්චයන් කිරීමේදී සමාගමේ ප‍්‍රමාණය වැනි ක‍්‍රමවේදයන් පිළිබඳව පක්ෂාග‍්‍රාහීත්වය දැක්වීමෙන් වැලකී සිටිය යුතුවේ.

1998 වසරේ ජනවාරි මාසයේ සිට මෙහෙයුම් ආරම්භ කළ සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.