සෙලින්කෝ ලයිෆ් 19 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන අරඹයි

September, 11, 2019

2020 වසරේ සිසු දරුවන් 160 දෙනෙකුට රුපියල් මිලියන 11 ක ශිෂ්‍යත්ව

 

මෙරට රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ 19 වන ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහනේදී දක්ෂ තරුණ ශ‍්‍රී ලාංකිකයින් 160 දෙනෙකු වෙත රුපියල් මිලියන 11 ක් ඉක්මවන නව ශිෂ්‍යත්ව 2020 පෙබරවාරි මාසයේදී ප‍්‍රදානය කිරීමට සමාගම සූදානම් වෙයි.

සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ගේ ඉහළ කුසලතාවයන් දක්වන දරුවන්ට ප‍්‍රතිලාභ ලබාදීමේ අරමුණෙන් ආරම්භ කළ මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මගින් මේ වනවිට රුපියල් මිලියන 143 ක් ප‍්‍රදානය කර තිබෙන අතර සිසු දරුවන් 2,571 ක් මෙම වැඩසටහන මගින් මේ දක්වා ප‍්‍රතිලාභ ලබා තිබේ.

මෙවර පවත්වන නව වැඩසටහන සමග ප‍්‍රදානය කර තිබෙන සමස්ත මුදල රුපියල් මිලියන 154 ක් දක්වා ඉහළ යන අතර අධ්‍යාපනික, ක‍්‍රීඩා, කලා සහ අනිකුත් බාහිර ක‍්‍රියාකාරකම් වලදී දක්ෂතා දැක්වූ සිසු දරුවන්ට මෙහිදී ප‍්‍රතිලාභ ලබාදෙයි.

අදියර හතරකින් ක‍්‍රියාත්මක වන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා සුදුසුකම් ලබන දරුවන්ගේ අයදුම්පත් දිවයින පුරා විහිදුණු සෙලින්කෝ ලයිෆ් සමාගමේ ශාඛා ජාලය මගින් 2019 නොවැම්බර් 30 වන සෙනසුරාදා දක්වා භාරගන්නා බව සමාගම සඳහන් කර ඇත.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, තුෂාර රණසිංහ මහතා මෙසේ සඳහන් කළේය. ‘ජීවිතය පුරා සබඳතා පවත්වා ගන්නා සමාගමක් ලෙස ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන මගින් පෙන්වන්නේ රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවිත පමණක් ගැන නොසිතා ඔවුන්ගේ දරුවන්ගේ බලාපොරොත්තු ඉටුකර ගැනීමට සහාය වන ආකාරයයි. මෙම වැඩසටහනේ බලපෑම කැපී පෙනෙන ලෙස රක්ෂණ ඔප්පු හිමියන්ගේ ජීවිත වලට ලැබෙන අතර එමගින් සමාජයටත් විශාල ප‍්‍රතිලාභයක් හිමි වෙනවා. බොහෝ ප‍්‍රණාම ශිෂ්‍යත්ව ලාභීන් මේ වනවිට වෛද්‍ය, නීති, ඉංජිනේරු වැනි වෘත්තීන්ට එළඹ රටට සේවය කිරීම මෙයට හොඳ උදාහරණයක්.’

මෙහිදී, පහ වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත‍්‍රික් මට්ටමෙන් ඉහළම ලකුණු ලබාගත් සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දු පුතුනට හා අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන්ගෙන් දිස්ත‍්‍රික් මට්ටමේ ඉහළම ප‍්‍රතිඵල ලබා ගන්නා සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියන්ගේ දරු දැරියන් වෙත මුදල් තිළිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව ලබාදෙන අතර ක‍්‍රීඩාව, සංස්කෘතිය, කලාව, නාට්‍ය සහ නව සොයා ගැනීම් සඳහා ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණයන් හිමි කරගත් තරුණ තරුණියන්ටද මුදල් තිලිණ සහිත සෙලින්කෝ ලයිෆ් ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව පිරිනැමේ. මීට අමතරව, සෙලින්කෝ ලයිෆ් ඔප්පු හිමියකුගේ දරුවකු අ. පො. ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක මට්ටමින් දෙවැනි, තෙවැනි හෝ සිව්වන ස්ථාන හිමිකර ගෙන ඇත්නම් එම ජයග‍්‍රහණ සඳහාද විශේෂ මුදල් ශිෂ්‍යත්ව පිරිනැමීමට සෙලින්කෝ ලයිෆ් කටයුතු කර ඇත.

නවතම ‘ප‍්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2019 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන දරුවන්ට රුපියල් 120,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් වසර පහකදී මාසික වාරික වශයෙන් හිමිවන අතර මෙවැනි ශිෂ්‍යත්ව 25 ක් මෙවර ලබාදීමට නියමිතය.  එසේම, 2018 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී ඉහළම දස්කම් දැක්වූ දරුවන් 25 දෙනෙකුට රුපියල් 84,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් මෙවර හිමිවන්නේ වසර දෙකකදී මාසික වාරික වශයෙනි. මේ අතර, 2018 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී තම දිස්ත‍්‍රික්කයෙන් පළමුවැනියා වූ දරුවන් 25 දෙනෙකුටද සමාගම විසින් රුපියල් 144,000 ක ශිෂ්‍යත්ව ආධාර මුදලක් පිරිනමන අතර එම මුදල වසර තුනකදී මාසික වාරික වශයෙන් ගෙවයි.

2018 අ.පො.ස. උසස් පෙළ විභාගයේදී දිස්ත‍්‍රික්ක වලින් දෙවන, තෙවන හා සිව්වන ස්ථාන ලබාගත් දරුවන් 75 දෙනෙකුට රුපියල් 30,000 බැගින් එක් වරක් ලබාදීමටද සමාගම කටයුතු කරයි.

මීට අමතරව, 2018 සහ 2019 වසර වලදී ක‍්‍රීඩා, නාට්‍ය, නවෝත්පාදනය සහ නිර්මාණශීලි අංශයන්ගෙන් විශිෂ්ටතා දැක්වූ දරුවන්ට කුසලතා සම්මාන හිමිවන අතර ඒ වෙනුවෙන් එක් අයෙකු වෙත සමාගම රුපියල් 35,000 ක මුදලක් ප‍්‍රදානය කරයි.

2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් 2018 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම පස්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සම්මානයට පාත‍්‍රකර තිබේ. එසේම, සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 31 තුළ වසර 15 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමාගම සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

සේයාරු සටහන - පසුගිය ප‍්‍රණාමශිෂ්‍යත්ව වැඩසටහනේ 5 වන වසර ශිෂ්‍යත්ව ලාභින්