හච් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G අත්දැකීම එළිදක්වයි

    March, 18, 2021

    ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆේස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන ලදී. ශ්‍රී ලාංකික ටෙලිකොම් ක්‍රියාකරුවකු විසින් ළඟාවන ලද ඉහළම වේගය තම නම ඉදිරියෙන් සනිටුහන් කර ගැනිම හච්හි සුවිශේෂත්වය වූ අතර මේ සඳහා හච්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයෙක් වන ZTE සමඟ අත්වැල් බැඳගනිමින් 5G තාක්ෂණයේ ප්‍රායෝගික භාවිත වැදගත්කම් සෑහෙන ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.

    මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂද සේනානායක මහතා, හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමර් නඩරාසා මහතා සහ හච් කළමණාකාරීත්වය සහභාගි වූහ.

    මෙම 5G අත්හදා බැලීම අදියර කිහිපයකින් සමන්විත වූ අතර Ookla ගෝලීය බ්‍රෝඩ්බෑන්ඩ් වේග පරීක්ෂණයට අනුව, හච් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G දත්ත හුවමාරු අත්දැකීමට හිමිකම් කියන අතර එය 1.8Gbps අගයකින්ද තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අවම ප්‍රතීක කාලයකින්ද යුක්ත වේ. මේ අවස්ථාවට සහභාගීවුවන් සඳහා 5G තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රීඩා, ඔන්ලයින් සාකච්ඡා සහ වීඩියෝ නැරඹීමේ අවස්ථාවද සලසා තිබු අතර එමඟින් 4G සහ 3G ආවරණ වලට සාපේක්ෂව 5G හි කාර්යක්ෂමතාවය කොතරම්ද යන්න ඔවුන්ට සජීවීව අත්විදිය හැකිවිය.

    මෙම කඩඉම පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සඳහන් කළේ "මෙය සැබවින්ම හච් හි අප සැමට විශේෂ අවස්ථාවක්. අප පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් උපරිමයෙන් ඉටුකිරීමට උත්සහ කරන සමාගමක් ලෙස මේ 5G එළිදැක්වීම තාක්ෂණික පරිවර්තනයකට තැබූ නවමු පියවරක්. සෑමවිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් නවෝත්පාදනයන් වලට යොමුවීම තුළින් මෙලෙස නවීනතම සහ වඩාත්ම දියුණු තාක්‍ෂණයන් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම ගැන අප නිහතමානී ලෙස ආඩම්බර වෙනවා" යනුවෙනි.

    5G තාක්ෂණය සෑම ක්ෂේත්‍රයකටම යම්කිසි බලපෑමක් සිදුකරන අතර එමඟින් අවම ප්‍රතීක කාලයක් තුළ ඉතා වේගවත්ව තමන්ට අවශ්‍ය කාර්යයන් විශ්වසදායීව සිදුකරගත හැක. අති දැවැන්ත සන්නිවේදන කටයුතු, ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ ක්‍රියාකරවීම වැනි ඉතා සංකීර්ණ කටයුතු සරලව සිදුකර ගැනීමේ හැකියාවත්, යමක් බාගත කරගැනීමේ ඉතා ඉහළ වේගයත් වැනි ප්‍රයෝජන නිසා පුද්ගල, ව්‍යාපාර හා සමාජයීය කටයුතු ඉතාමත් පහසු වනු ඇත. ස්මාර්ට් සිටි, රියදුරු රහිත වාහන , Augmented Reality (AR)/Virtual Reality (VR), කාර්මික ස්වයංක්‍රීයකරණය සහ තවත් බොහෝ නවීන සංකල්ප මෙම 5G තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන අතරම 5G ආවරණ ජාලය ස්ථාපිත වීමෙන් පසු තවත් නවෝත්පාදන රැසක් බිහිවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ගෝලීය ෆෝචූන් 500 සමාගම් සමූහයේ සාමාජිකයකු වීමෙන් ලද ශක්තියත්, 5G තාක්ෂණය ලොවට හඳුන්වා දීමේ පුරෝගාමියෙකු වූ තම මව් සමාගම වන CK හචිසන් හෝල්ඩින්ග්ස් මඟින් ලද විශේෂඥ දැනුමත් නිසා හච් හට මෙය සාර්ථක කරගත හැකිවිණි. ප්‍රමුඛ පෙළේ විදුලි සංදේශ සේවා සැපයුම්කරුවෙකු වන CK හචිසන් සමාගම ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සහ වාණිජ අරමුණු යන ද්විත්වය උදෙසාම මේවන විටත් ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, හොංකොං, අයර්ලන්තය, ඉතාලිය, ස්වීඩනය සහ එක්සත් රාජධානිය යන රටවල්හි පසුගිය වසර 2 තුළ 5G තාක්ෂණය ස්ථාපිත කර ඇත.

    පසුගිය වසරේදී හච් සහ එටිසලාට් ඒකාබද්ධ කිරීමත්, දීපව්‍යාප්ත 4G ආවරණ ජාලය සම්පුර්ණ කිරීමත් සමඟම මෙලෙස 5G පරීක්ෂණ කටයුතු ආරම්භ කළ හච්, මේ වන විට ශ්‍රී ලංකාව තුළ තම සාර්ථකත්වයන් එකිනෙක සනිටුහන් කරමින් සිටී. 3G සමගින් ආරම්භ වී 4G දෙසට යොමු වූ හච්, අනාගතයේදී 5G තාක්ෂණය ඔස්සේ තම සියලුම පාරිභෝගිකයින් සඳහා ස්ථාවර ඉහළ ධාරිතාවයකින් යුත් බ්‍රෝඩ්බෑන්ඩ් ජාලයකට ප්‍රවේශ වීමේ හැකියාව සමඟ හොඳම data අත්දැකීම් ලබාදෙන බව සහතික කරයි.