2019 සිංගර් විලාසිතා දැක්ම සහ සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් අවසන් වේ

September, 5, 2019

ලොවට මැහුම් කලාව දායාද කල සිංගර් හි අනුබද්ධිත ආයතනයක් වන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් 2019 වර්ෂය සඳහා වූ විලාසිතා දැක්ම සහ සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් නිමා කළේය. පසුගියදා කොළඹ සිරිමාවෝ බණඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදි පැවති මෙම උළෙල සඳහා සිංගර් හි කළමනාකාරිත්වය ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

රටෙහි තරුණ තරුණියන්ගේ නිර්මාණශිලීත්ව හැකියාවන් වර්ධනයෙහි ලා මහඟු මෙහෙවරක් ඉටු කරන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් මෙවර විලාසිතා දැක්ම සඳහා සිසුන් 49කගේ නිර්මාණ 60කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණ. පෙර වසරන් හීදී  සිංගර් කාර්ය මණ්ඩලය, සිසු සිසුවියන් ඇතුලු සීමිත පිරිසක් සඳහා පමණක් වෙන් වූ ප්‍රදර්ශනය මෙවර පුළුල් ප්‍රේක්ෂක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අයුරින් සංවිධානය කර තිබීම විශේෂත්වයකි. මේ හේතුවෙන් සාමාන්‍ය ජනයාට අමතරව විලසිතාකරණය සම්බන්ධ වෘත්තිකයන් හා ප්‍රසිද්ධ චරිත රැසකගේ ආකර්ෂණය මෙවර සිංගර් විලාසිතා දැක්ම කෙරෙහි යොමු වුයේ කොළඹ නගරයේ වාර්ෂිකව පවත්වන ඒ හා සමාන උළෙලන් හි වාර්ෂික දින කැලැන්ඩරයට නව දිනයක් එකතු කරමිනි.

විලාසිතා දැක්ම හා සමගාමීව සම්මාන ප්‍රධානෝත්සවයක් ද සංවිධානය කර තිබූණි. මෙම සම්මාන උළෙලේදී සිංගර් ෆැෂන් ඇකඩමියේ සිසු සිසුවියන්ගේ නිර්මාණ ඇගයීමට පාත‍්‍ර විය. සිසු සිසුවියන් සිංගර් ෆැෂන් ඇකඩමියේ පාඨමාලා හදාරමින් සිටින අතරතුරදීම සිය නිර්මාණ ඉදිරිපත් කරමින් සම්මාන දිනාගැනීමට අවස්ථාව හිමිකර ගැනීම මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වයකි. තවද මෙහිදී සිසු සිසුවියන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව උදාවීම පමණක් නොව මහා පරිමාණයේ විවිධ ව්‍යාපාර අවස්ථා උදාකරගැනීම සඳහා වන ආත්ම විශ්වාසය ද හිමි විය.

මෙහිදී ළමා සහ කාන්තා විලාසිතා, තරුණයින් සඳහා වූ විලාසිතා, උඩරට සාරි විලාසිතා, ඉන්දීය සාරි විලාසිතා, කාර්යාලීය ඇඳුම් විලාසිතා සහ සැඳෑ ඇඳුම් විලාසිතා ආදී වශයෙන් විලාසිතා අංග 07ක් යටතේ ඉදිරිපත් කර තිබූ නිර්මාණ අතුරින් ප්‍රථම සහ දෙවැනි ස්ථානයන් හිමි කරගත් ජයග‍්‍රාහකයන් තෝරා ඔවුන් වෙත සම්මාන පිරිනැමීම සිදුකෙරිණ. තවද ෆැෂන් ඇකඩමිය විසින් මෙහෙයවනු ලැබූ ප්‍රධානතම පාඨමාලා ද්විත්වයක් වන විද්‍යානුකූල ඇඳුම් මැසීම පිලිබඳ පාඨමාලාව නිමකල සිසුන් 69 දෙනෙකු සඳහා සහ මැෂින් එම්බ්‍රෙයිඩරි පිළිබඳ ඩිප්ලෝමාවන් සාර්ථකව නිම කළ සිසු 13 දෙනෙකු සඳහා සම්මාන පිරිනැමීමක්ද සිදු විය. මෑතකදී හඳුන්වා දුන් විලාසිතා නිර්මාණකරණය පිලිබඳ සහතික පත්‍ර පාඨමාලාව නිම කල සිසුන් 34 දෙනෙකු සඳහා සහතික පත්‍ර බෙදාදීම සිදු වීම මෙවර සම්මාන උළෙලේදී සුවිශේෂී විය.

සෑම සිසුවකු කෙරෙහිම අධ්‍යාපන කාලය පුරාවටම පෞද්ගලික අවධානයක් යොමු කරන සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිය සිසුන් හට වාණිජමය වශයෙන් වටිනාකමක් ඇති මෝස්තරයක් නිර්මාණය කර ගන්නා ආකාරය පිලිබඳ නොමිළයේ එක්දින වැඩමුළුවක් ද පවත්වයි. සිසුන් විසින් සිය මෝස්‌තර සංකල්පයන් තෝරා ගැනීමට පෙර පවත්වනු ලබන මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබූවේ ක්ෂේත්‍ර ප්‍රවීණයින් විසිනි. මෙහිදී සිසුන් හට සිය මෝස්තරයන් නිර්මාණය කිරීමෙහිලා අවශ්‍ය වන නිර්මාණාත්මක සංරචකයන් ඇතුළත් මුඩ් පුවරු  (Mood Board) සකසා ගන්නා ආකාරය පිළිබඳ විධිමත් දැනුමක් ලබා දුන්හ.

මෙම වසරේ විලාසිතා දැක්ම සඳහා සම්පත් දායකයින් ලෙස සිංගර් ෆැෂන් ඇකඩමියේ බාහිර කථිකාචාර්යවරියක සහ සමාජ ව්‍යවසායිකාවක වන ජෝශි ජෝර්ජ්, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජයමාලි ද සිල්වා,MAS හෝල්ඩින්ග්ස් හි ජ්‍යෙෂ්ඨ නිර්මාණ සැලසුම්කරු රංග ගුරුගේ මහතා ද වූහ. මොවුන් සතු  ශ්‍රාස්ත්‍රීය දැනුම, ව්‍යසායකත්ව දැනුම සහ ක්ෂේත්‍ර දැනුම සංකලනය වීම තුලින් සිසු සිසුවියන්ට කර්මාන්තය තුලදී  තෝරා ගත යුතු මඟ පිලිබඳ  ඉතා වටිනා මගපෙන්වීමක් ලැබිණ.

මෙම ප්‍රවීණයන් ත්‍රිත්වයගෙන් සැදුම්ලත්  විනිශ්චය මණ්ඩලය විසින්  විලාසිතා දැක්ම සඳහා නිර්මාණ ප්‍රදර්ශනය කිරීමට සුදුසු අවසන් සිසුන් 49 දෙනා තෝරා ගනු ලැබිණ. මෙහිදී ප්‍රථමයෙන්ම සිසුන් විසින් සකසන ලද මුඩ් පුවරු ඇගයීමට ලක් කල අතර එක් එක් කාණ්ඩයන් නියෝජනය කරමින් සංකල්ප 12 ත් 15 ත් අතර ප්‍රමාණයක් තෝරා ගැනීම සිදු කෙරිණි. අවසන් තරඟය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීමට සුදුසුකම් නොලත් සිසුන් ගේ සංකල්ප සඳහා ධනාත්මක ප්‍රතිචාර සහ ඉදිරියේදී එම සංකල්ප දියුණු කර ගත හැකි ආකාරය පිළිබඳ උපදෙස්  ප්‍රවීණයින් විසින් ලබා දෙන ලදී.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා කියා සිටියේ 2019 සිංගර් සම්මාන උළෙල හා විලාසිතා දැක්ම නව මුහුණු වරකින් පැවැත්වීමට හැකි වීම පිළිබඳ ඔවුන් ආඩම්බර වන බවයි. සියලුම ඩිප්ලෝමා ලාභීන්ට සහ සම්මානලාභීන්ට සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් සුභාශින්ෂණ එක් කරන බවත්, සමාජීය වගකීම් නොපිරිහෙලා ඉටු කරන ආයතනයක් වශයෙන් සිංගර් රටෙහි තරුණ ව්‍යවසායකත්ව නගා සිටුවීමට ගත් පියවරෙහි ප්‍රථිපල මෙසේ සමාජයට පෙන්විය හැකි බවත් හෙතෙම කීහ.

එලඹෙන වසරේදී  සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිය වාර්ෂික විලාසිතා දැක්ම සඳහා නව නිර්ණායක හඳුන්වා දීමට බලාපොරොත්තු වන අතර එහෙදී තිරසාරභාවය හා සම්බන්ධ සංකල්ප සඳහා සුවිශේෂී අවධානයක් යොමු කරනු ඇත. තවද වඩාත්ම තිරසාර ඇඳුම් කට්ටලය, හොඳම වාණිජ ඇඳුම් කට්ටලය, සහ වඩාත්ම නව්‍ය සංකල්පය හා සම්බන්ධ නිර්මාණ සඳහා සම්මාන පිරිනැමීමටද අපේක්ෂාවෙන් පසු වේ.

මෙරට විලාසිතා නිර්මාණකරණ ක්ෂේත්‍රයේ නිරතවීම ට අපේක්ෂා කරන්නන් සඳහා ජාතයන්තර වෘත්තීය ගමන්මගක් උරුමකර දීමේ අරමුණින් වර්ෂ 2015 දී සිංගර් ව්‍යාපාරික පාසල ආරම්භ කරන ලදී.  හුදෙක් ඇඳුම් මැසීම පිළිබඳ ඉගැන්වීම්  සදහා පමණක් සීමා නොවී සිය සිසු සිසුවියන් වෙත දැනුම සම්පාදනය කරමින් ඔවුන් නිර්මාණශිලීත්වය වර්ධනය කරලීම සඳහා කැපවී සිටින ආයතනයක් ලෙස සිංගර් ෆැෂන් ඇකඩමිය හැඳින්විය හැක. ආයතනය විසින් දැනට පවත්වාගෙන යන සියලු පාඨමාලා සඳහා විෂය නිර්දේශයන් සැකසීමේදී ජාත්‍යන්තර සහ කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල වීම පිලිබඳ මනා සැලකිල්ලක් දක්වයි. සිංගර් ව්‍යපාරික පාසල විසින් මෙහෙයවනු ලබන  පාඨමාලා සඳහා ලියාපදිංචි වීම පිළිබඳ වැඩිදුර විස්තර ඔබට 0766177177 යන දුරකථන අංකය ඔස්සේ ලබා ගත හැක.