2020 දෙවන කාර්තුවේ ආර්ථික දත්ත නිකුත් කිරීම කල් යයි

    October, 19, 2020

    2020 දෙවන කාර්තුවට අදාළ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත නිකුත් කිරීම 2020 දෙසැම්බර් 15 දින දක්වා ප්‍රමාද කරනු ලබන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ 2020 තුන්වන කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමඟ ඉහත ඇස්තමේන්තු එදිනට ප්‍රකාශයට පත් කරනු ලබන බවයි.

    මෙහිදී වැඩිදුරටත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මෙසේ කියා සිටී.

    “2020 දෙවන කාර්තුව (අප්‍රියෙල් 1 සිට ජුනි 30 දක්වා) ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගතය පැතිරීම හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් රට සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දමා තිබූ කාර්තුවයි. එම කාලය තුළ බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වී ඇති බව පැහැදිලිය. වෙනත් ආර්ථික ක්‍රියාකාරකම් වෙනදාට වඩා වෙනස් ආකාරයකින් සිදු වූ අවස්ථා තිබේ. සමහර ආර්ථික ක්‍රියාකාරකම් කොවිඩ් -19 විසින් දිරිමත් කරන ලදී.“

    “මෙම සන්දර්භය තුළ, ඇතැම් කර්මාන්ත හා සේවා ක්‍රියාකාරකම්වල නිමැවුම් වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රම ජාත්‍යන්තර උපදේශකයින් සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය වේ. ඉහත සඳහන් ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ දත්ත වෙනත් ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ද තීරණය විය. 2020 තුන්වන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු සමඟ ඉහත ඇස්තමේන්තු 2020.12.15 දින ප්‍රකාශයට පත් කිරීමට අපි තීරණය කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු.“

    මේ අතර 2020 පළමු කාර්තුවේ දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත ඇස්තමේන්තුවලට අනුව ආර්ථික වර්ධන වේගය සෘණ 1.6%ක් ලෙස වාර්තා වුණි.

    කෙසේ වෙතත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි මෙයාකාරයෙන් සටහනක් තබා ඇත.

     

    මේ රවටා ගන්නේ අපවම නේද?

    ලැජ්ජයි! ශ්‍රී ලංකාව කාර්තුමය වශයෙන් දළ දේශීය නිෂ්පාදිත (GDP) දත්ත නිකුත් කිරීම ආරම්භ කිරීමෙන්...

    Posted by Harsha de Silva on Sunday, October 18, 2020