2021 වසරේ SLT දින දර්ශනය ශ්‍රී ලංකාවේ පිත්තල කලාව වෙනුවෙන්

    December, 11, 2020

    ශ්‍රී ලාංකීය පිත්තල කලාව මෙවර ශ්‍රී ලංකා ටෙලිකොම් දින දර්ශනයේ

    ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) මෙරට ප්‍රෞඪ සංස්කෘතික උරුමය හා ස්වභාවික වටිනාකම්හි තිරසාරතාව සහතික කරමින් ශ‍්‍රී ලාංකිකයන් තුළ දේශීයත්වය කෙරෙහි උද්‍යෝගය දැනවීම අරමුණු කරගනිමින් දශකයකට අධික කාලයක් තිස්සේ "හෙට දින වෙනුවෙන් උරුමය සුරකීම" යන මැයෙන්, අනාගත පරපුරේ අභිවෘද්ධිය අරමුණු කරගෙන SLT  එළිදැක්වූ නිර්මාණාත්මක දින දර්ශන පෙළෙහි 2021 වසරේ දින දර්ශනය ශ්‍රී ලාංකීය පිත්තල කලාව හා දේශීය නිර්මාණකරුවාගේ හැකියාව විදහා දක්වන්නකි.

    නව වසර වෙනුවෙන් එළිදැක්වූ දහසකුත් එකක් දින දර්ශන අතර හුදෙක් දින දසුනකින් එහාට යන අපූරු නිර්මාණයක් වන 2021 වසරේ SLT දින දර්ශනය ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ කර්මාන්තය පිළිබඳ ශ‍්‍රී ලාංකිකයන් දැනුවත් කරමින් ඒ පිළිබඳ පුළුල් සමාජ කතිකාවක් ඇතිකිරීමේ නිර්මාණශීලී වෑයමකි. දින දර්ශනය වැනි මිනිසුන්ට නිතර නිතර උදේ සවස ඇස ගැටෙනා මාධ්‍යයක් තෝරාගැනීම තුළින් ශ‍්‍රී ලංකා ටෙලිකොම් ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ කර්මාන්තය පිළිබඳ ජනතා සිත්සතන් තුළ වඩා වැඩි ලෙන්ගතුබවක් ඇතිකිරීම අරමුණුකොට ඇත. 2020 වසරේ නිර්මාණය වූ SLT  දින දර්ශනයට ශ්‍රී ලාංකීය කලා නිර්මාණ රැසක් අන්තර්ගත වූ අතර 2019 වසරේ දින දර්ශනය ජලයේ අපූර්වත්වය විදහා දැක්වූයේ ශ්‍රී ලංකාවේ ජලය භාවිතා කෙරෙන විවිධ ආකාරයන්ගේ ඡායාරූප පෙළකිනි.

    ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සමග එක්ව ඉදිරිපත් කරනු ලබන 2021 නව SLT දින දර්ශනයේ ශ්‍රී ලංකා පිත්තල කර්මාන්තයේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන මහනුවර යුගයේ අතීත ශ්‍රී විභූතිය විදහා දැක්වෙන පිත්තල නිර්මාණ රැසක ඡායාරූප ඇතුලත්කොට තිබේ. තඹ සහ සින්ක් මූලද්‍රව්‍ය මිශ‍්‍ර කොට නිපදවනු ලබන දීප්තිමත් වර්ණවත් ලෝහයක් වන පිත්තල ආශ‍්‍රයෙන් නිෂ්පාදනය කළ භාණ්ඩ වර්ග රැසක් අතීත රාජකීයන් හා ප‍්‍රභූවරුන්ගේත්, ආගමික ස්ථානයන්ගේ අවශ්‍යතා සඳහා මෙන්ම සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහාද සුලබව භාවිත කොට ඇත.

    මහනුවර යුගයේ නිර්මාණය වූ පිත්තල භාණ්ඩ රැසක මල්, ලිය වැල් රටාවන් සහ මනංකල්පිත සත්ත්ව රූප රැසක් අන්තර්ගත විය. නාරිලතා, කිඳුරා, ගජසිංහ, හිරු හා සඳු මෙන්ම ජ්‍යාමිතික හැඩතල රැසකින් මහනුවර යුගයේ පිත්තල නිර්මාණ හැඩවැඩ විය. සංඛය, ලක්ෂ්මී පහන, කිණිස්ස, වැඳුම්ගිරය, පිත්තල බන්දේසිය, හුණු කිල්ලෝටය, ආභරණ මංජුසාව වැනි එදිනෙදා භාවිතා වූ අනර්ඝ පිත්තල නිර්මාණ පෙළක්  SLT 2021 දින දර්ශනයෙහි ඇතුලත් කොට ඇත.

    ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ජනරාල් සනූජා කස්තුරිආරච්චි මහත්මිය 2021 දින දර්ශනය පිළිබඳ අදහස් දක්වමින්  "සෑම වසරකම SLT දින දර්ශනය හරහා අපේ රටේ වටිනාකම් ගැන, ශ්‍රී ලාංකික උරුමයන් පිළිබඳ ශ්‍රී ලාංකිකයන් තුළ උනන්දුවක් අභිමානයක් ඇතිකරන්නට උත්සාහ ගත්තා. මෙවර SLT දින දර්ශනය නිර්මාණය කිරීමට ජාතික කෞතුකාගාරයේ අපටද දායක වන්නට ලැබීම මහත් අභිමානයක්. අපේ රටේ අතීත ශ්‍රී විභූතිය හා වටිනාකම් ගැන ජන මනස තුළ හෘද්‍යාංගම හැඟීමක් ඇති වන්නට හුදෙක් කෞතුකාගාරයේ වීදුරු ආවරණ තුළින් ඒවා නරඹා යාම පමණක් ප‍්‍රමාණවත් නැහැ. එදිනෙදා ජීවිතයේදී නිතර හමුවෙන දින දර්ශනයක් වැනි මාධ්‍යයක් හරහා එම අතීත වටිනාකම් ජනතාවට සමීප කරවීම තුළින් අපේ රටේ සංස්කෘතික වටිනාකම් ජනතාවට වඩාත් සමීප කරවන්නට පුළුවන්. ජාතික කෞතුකාගාරයේ තැන්පත්කොට තිබෙන පෞරාණික පිත්තල භාණ්ඩ පිළිබඳ 2021 වසරේ SLT දින දර්ශනය නිර්මාණය කොට තිබෙනවා. ඒ හරහා දේශීය පිත්තල කර්මාන්තයේ වටිනාකම් පිළිබඳ ජනතාව තුළ ආකර්ෂණයක් ඇතිවනවා වාගේම තමන්ගේ එදිනෙදා ජීවිතයට පිත්තල නිෂ්පාදන භාවිතා කිරීමටත් යම් දිරිගැන්වීමක් සිදුවනවා." යැයි පැවසීය.

    SLT ප‍්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා 2021 දින දර්ශනය පිළිබඳ අදහස් දක්වමින් "ජාතික දුරකතන සන්නිවේදන සේවා සැපයුම්කරුවා වශයෙන් SLT අප ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සමග එක්ව අපේ රටේ පිත්තල කර්මාන්තයේ අතීත ශ්‍රී විභූතිය වර්තමානයට සමීප කරන්නට මෙවර දිනදර්ශන ය නිර්මාණය කළා. පිත්තල නිෂ්පාදනයක් හුදෙක් තඹ හා සින්ක් මිශ‍්‍රණයක් නොවෙයි, එය අපේ සංස්කෘතිය, ප්‍රෞඩ ඉතිහාසය, අපේ කලාකරුවන්ගේ කුසලතාවය විදහා දක්වන කැඩපතක් වැනි අනර්ඝ කලා කෘතියක්. ශ්‍රී ලාංකීය අනන්‍යතාව විදහා දැක්වෙන මෙවැනි අනර්ඝ නිර්මාණ පෙළක් දිනදර්ශන ය හරහා සමාජගත කිරීමෙන් අපේ අනාගත පරම්පරාව තුළ රටේ සංස්කෘතික වටිනාකම් ගැන අවබෝධයක් හා ආකර්ෂණයක් ඇති කිරීමටයි අපි බලාපොරොත්තු වූයේ." යැයි පැවසීය.

     

     

    එළි දැක්වීමේ උළෙලේදී, කිත්ති පෙරේරා - ප‍්‍රධාන විධායක නිලධාරී (වැසි සිටී), වජිර හපුහින්න (නියෝජ්‍ය කළමනාකරු), ලලිත් සෙනවිරත්න (සමුහ ප‍්‍රධාන විධායක නිලධාරී), රොහාන් ප‍්‍රනාන්දු (සමුහ සභාපති), ප‍්‍රියන්ත ෆනෑන්ඩස් (ප‍්‍රධාන මෙහෙයුම්  නිලධාරී), ප‍්‍රභාත් දහනායක (ප‍්‍රධාන අළෙවි  නිලධාරී)