2021 -2030 නිපුණතා සංවර්ධන දශකය ලෙස ජනපති නම් කරයි

    July, 15, 2020

    • අරමුණ හැම දරුවෙකුටම උසස් අධ්‍යාපනය සහ නුපුහුණු ශ්‍රමය 10% අඩු කිරීම.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2021-2030 දස වසර  ශ්‍රී ලංකාවේ නිපුණතා සංවර්ධන දශකය ලෙස ප්‍රකාශයට පත් කරයි. ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ රජයේ ජාතික ප්‍රතිපත්ති ලේඛනයට අනුකූලව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ පරිවර්තනීය ප්‍රගතියක් අත්කර ගැනීම එමගින් අපේක්ෂා කෙරේ.

    වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ සිටියදී 2014 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ඉදිරිපත් කළ යෝජනාවකින් ස්ථාපනය කළ “ලෝක යොවුන් නිපුණතා දිනය” අත්කරගත් ප්‍රගතිය මත පදනම්ව නිපුණතා සංවර්ධන දශකය සැලසුම් කොට තිබේ. ගෝලීය ප්‍රවනතාවනට යෝග්‍ය පරිදි ඊළඟ පරපුරේ නිපුණතා ප්‍රවර්ධනය සහ ධරණීය සංවර්ධනය සඳහා වන ගෝලීය න්‍යායපත්‍රය 2030 කේන්ද්‍ර කොට නිපුණතා සංවර්ධන දශකයේ ක්‍රියාකාරී සැලැස්ම සැකසේ.

    දිවයිනේ නුපුහුණු ශ්‍රම බලකාය ජනගහනයෙන් 10%  දක්වා අඩු කිරීම සහ රටේ සංවර්ධන න්‍යාය පත්‍රය මෙහෙයවීමට සමත් ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ සහ අනාගත අවශ්‍යතාවලට ගැලපෙන පරපුරක් බිහි කිරීමෙන් ශ්‍රී ලංකාව ආසියාවේ මානව සම්පත් සංවර්ධනයෙහි කේන්ද්‍රය බවට පත් කිරීම පිණිස සාමාන්‍ය අධ්‍යාපනය, තෘතීයික අධ්‍යාපනය සහ වෘත්තීය අධ්‍යාපනය හැඩ ගැස්වීම නිපුණතා සංවර්ධන දශකයෙන් අපේක්ෂා කෙරේ. අධ්‍යාපන අංශයේ ඇතිකරන පරිවර්තනය මගින් විදේශ ආයෝජන සහ විදේශීය ශිෂ්‍යයන් ආකර්ශණය කර ගැනීමෙන් හා විදේශ රැකියාවන්හි නිරත පුහුණු ශ්‍රමිකයන් උපයන විදේශ විනිමය වර්ධනය කිරීමෙන් වැඩිපුර ආදායම් ජනනය තවත් අපේක්ෂාවකි.

    ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්ති රාමුව ශ්‍රී ලංකාවේ අනාගත ප්‍රගතිය අරභයා රට වැසියා සතු දැනුම, නිපුණතා සහ හැකියාවන් ඉතා වැදගත් සාධක සේ සලකයි. ‘අපේ තරුණයන්ට සහ දේශීය ව්‍යවසායකයනට නව ඉඩ ප්‍රස්ථා උදා කරන, හැම දෙනාටම අලුත් බලාපොරොත්තු සහ අභිමානය පිළිබඳ හැගීම ඇති කරන, ජනතාවට තමන් තෝරාගන්නා කුමන ක්ෂේත්‍රයක වුවද ලෝක නායකයන් බවට පත්විය හැකි පරිදි ස්වකීය නිපුණතා, සමත්කම් සහ ව්‍යාපාරික විනිශ්චය ප්‍රයෝජනයට ගැනීමට ඉඩ සලසන පරිසරයක් නිර්මාණය කිරීම’ පිණිස නිශ්චිත අධ්‍යාපන සැලැස්මක් සම්පාදනය කොට  ක්‍රියාකිරීමේ අවශ්‍යතාව ඉන් අවධාරණය කර තිබේ.

    වත්මන් අධ්‍යාපන ක්‍රමය සමාලෝචනය කොට ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව පරිවර්තනීය ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කරනු වස් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් ජනාධිපති රාජපක්ෂ මහතා විසින් දැනටමත් ස්ථාපනය කර ඇත. කාර්ය සාධක බලකාය ඉදිරිපත් කළ අධ්‍යාපන අංශයේ දිගුකාලීන ගැටළු විමර්ශණය කළ ජනාධිපතිතුමා රටක වඩාත්ම වටිනා වත්කම අනාගත පරපුර බවත්, සියලු රටවැසියනට ස්වකීය විභවතා පුබුදු කොට ප්‍රීතිමත් පවුල් ජීවිතයක් භුක්ති විඳිමින් නීතිගරුක පුරවැසියෙකු ලෙස සමෘද්ධිමත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට ඉවහල් වන පරිදි මානව සම්පත් සංවර්ධනය රජයක මූලික වගකීම බවත් අවධාරණය කළේය. ජනාධිපතිතුමාගේ මග පෙන්වීම අනුව සැකසෙන නිපුණතා සංවර්ධන දශකයේ මාර්ග සැලැස්ම ජීවිත කාලය පුරා ඉගෙනීම දිරිමත් කරමින්, අධ්‍යාපනයට පිවිසීමේ බහුවිධ අවස්ථා හඳුන්වාදීමටත්, ශ්‍රී ලංකාව නිපුණතා සංවර්ධන ක්ෂේත්‍රයේ ඉදිරියට යන විට සියලු දෙනාට ඊට එක්වීමේ අවස්ථාව සැලසීමත් ප්‍රමුඛත්වය දෙයි.

    හඳුන්වාදී ඇති ප්‍රවේශයන් ශිෂ්‍යයන්, අධ්‍යාපනඥයන්, දෙමාපියන් සහ වෘත්තිකයන් වැනි කණ්ඩායම්වල සේම ජාතික මට්ටමේ ආයතනවල සැබෑ අවශ්‍යතා සපුරාලීමට සමත්දැයි දැනගනු පිණිස පරිවර්තනීය වැඩ සැලැස්ම පිළිබඳව ඉදිරි සති කිහිපය තුළ මහජන සංවාදයක් ඇතිකරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

    නිපුණතා සංවර්ධන දශකයට අදාළ පරිවර්තනීය න්‍යාය පත්‍රය අවසන් වරට සකස් කිරීමේ දී මහජන අදහස් ද සැලකිල්ලට ගැනේ. අනාගතයට යෝග්‍ය, තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයේ ලෝක නායකයන් බවට පත්වීමට සමත්, සියලු ශ්‍රී ලාංකිකයන් තුළ අභිමානය ඇතිකරන සහ ජාතියේ සංවර්ධනයට උර දෙන පරපුරක් බිහි කිරීම සඳහා වූ ජනාධිපතිතුමාගේ අභිලාශය සාක්ෂාත් කරනු පිණිස අධ්‍යාපන, කර්මාන්ත හා ශ්‍රමික අංශවල සම්බන්ධීකරණයෙන් සැලැස්ම යතාර්ථයක් බවට පත් කිරීමට අපේක්ෂිතය.