9/11 ප්‍රහාරයට වසර 18 යි

September, 11, 2019

එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට හා පෙන්ටගනයට ත්‍රස්තවාදී ප්‍රහාරයන් එල්ල වී අදට වසර 18 කි. 2001 සැප්තැම්බර් 11 දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව එක්සත් ජනපද ඉතිහාසයේ අත්විඳි දරුණුතම ත්‍රස්ත ක්‍රියාව ලෙසින් සැලකෙන අතර 3,000කට ආසන්න පිරිසකට මේ හේතුවෙන් සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවිය.

9/11 ප්‍රහාරය නමින් ඉතිහාසයට කළු පැල්ලමක් එක් කළ මෙම ඛේදවාචකය සමරමින් අද (11) පෙන්ටගනයේ පැවැත්වෙන සැමරුම් උත්සවයට එක්සත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වීමට නියමිතය. තවද හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ද මීට එක්වීමට නියමිත අතර වොෂිංටන් ඩී.සී.ට පහර දීමට පෙර පැහැරගත් සිව්වන ගුවන් යානය ගෙන එන ලද පෙන්සිල්වේනියාවේ ෂැන්ක්ස්විල් හි පිහිටි ස්ථානයේ සැමරුම් අවස්ථාවට උප ජනාධිපති මයික් පෙන්ස් එක්වනු ඇත.

නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුළුනුවලට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය 3,000 කට ආසන්න පිරිසකගේ පවුල්වල සාමාජිකයින් එම ස්ථානයට එක්රැස් වනු ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

2001 සැප්තැම්බර් 11 දින ත්‍රස්තවාදීන් විසින් පැහැර ගනු ලැබූ මගී ගුවන් යානා 4 ක් උපයෝගී කර ගනිමින් මෙම ප්‍රහාර මාලාව දියත් කරන ලදී. මෙහිදී ගුවන් යානා දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුළුණු ද්විත්වයෙහි ගැටීමට සැලැස්වීමෙන් එම කුළුණු දෙක මුළුමනින්ම පොළවට කඩාවැටුණු අතර තවත් ගුවන් යානයක් එක්සත් ජනපදයේ ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට කඩා වැට්ටවීමෙන් ප්‍රහාර එල්ල විණි. පැහැරගනු ලැබූ සිව්වන ගුවන් යානය පෙන්සිල්වේනියාවේ ෂැන්ක්ස්විල් ප්‍රදේශයට කඩා වැටුණු අතර ඒ සම්බන්ධ වාර්තා පවසන්නේ තවත් ප්‍රහාරයක් එල්ල වීමට ප්‍රථමයෙන් එක්සත් ජනපද ආරක්ෂක අංශ විසින් එය බිම දමන්නට ඇති බවයි.