චීනයෙන් යුවාන් බිලියන 10 ක් – චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

    March, 22, 2021

    දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත්, දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්,  ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එලඹෙන ලදී. මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මහබැංකු දෙකෙහි අධිපතිවරුන් වන, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ  චීන මහජන බැංකු අධිපති, ආචාර්ය යී  ගැන්ග් මහතා, මෙම ගිවිසුමෙහි අත්සන් දායකයන් වේ.

    මෙම ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක) මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබා ඇත. මෙම ගිවිසුම වසර තුනක (3) කාල සීමාවක් සඳහා වලංගු වේ.

     

      මහ බැංකුවේ සංචිතය පොඩ්ඩක් පහළට

      February, 7, 2025

      ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළ දී 0.9%ක සුළු පහළ යාමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

      2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.12 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර එය 2025 ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.06 ක් දක්වා සුළු පහළ යාමක් වාර්තා කර ඇත.

      නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජනවාරි මාසය තුළ දී ඩොලර් බිලියන 6.04 සිට ඩොලර් බිලියන 5.98 ක් දක්වා 1%කින් පහළ ගොස් තිබේ.

      මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

       

       

        චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

        January, 17, 2025

        ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම, මුල් ගිවිසුමේ දක්වා ඇති නියමයන් සහ කොන්දේසිවලට යටත්ව තවත් වසර තුනක (03) කාලයක් සඳහා 2024 දෙසැම්බර් මාසයේ දී සාර්ථකව දීර්ඝ කරනු ලැබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

        චීන යුවාන් බිලියන 10ක (ආසන්න වශයෙන් එ.ජ. ඩොලර් බිලියන 1.4ක) මුදල් හුවමාරු පහසුකම තුළින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මූල්‍ය සහයෝගීතාව නිරූපණය ක‍ෙර‍ෙයි.

        ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය පි. නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තැබූ අතර, චීන මහජන බැංකුව වෙනුවෙන් එහි අධිපති, පැන් ගොන්‍ශ‍ෙන් මහතා ගිවිසුමට අත්සන් තැබීය.

        චීනයෙන් යුවාන් බිලියන 10 ක් – චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

        March, 22, 2021

          මහජන බැංකුවේ නව සභාපති මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු වැඩ භාරගනී

          November, 19, 2024

          මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්රනාන්දු මහතා නොවැම්බර් 18 වැනිදා මහජන බැංකු ප්රධාන කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාරගත්තේය. මහජන බැංකුවේ ප්රධාන විධායක නිලධාරි/ සාමාන්යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජ්යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගි වූහ.

          මූල්ය, බැංකු සහ උසස් අධ්යාපනය පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දකින් හෙබි මහාචාර්ය ප්රනාන්දු මහතා කැලණිය විශ්වවිද්යාලයේ මූල්ය අධ්යයන අංශයේ මහාචාර්යවරයකු සහ අංශ ප්රධානියකු ලෙස කටයුතු කර ඇති ප්රමුඛ පෙළේ ශාස්ත්රඥයෙකි. විශ්වවිද්යාලය තුළ වසර 27කට අධික කාලයක් පුරා ශාස්ත්රිය වශයෙන් ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර පිළිගැනීමට හා ඇගයීමට ලක්ව ඇත. මහාචාර්ය ප්රනාන්දු මහතා නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වා දෙමින් ශ්රී ලංකිය මූල්ය අධ්යාපනයේ ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, කැලණිය විශ්වවිද්යාලයේ වාණිජ්ය හා කළමනාකරණ අධ්යයන පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත. එමෙන්ම මහාචාර්ය ප්රනාන්දු මහතා කැලණිය විශ්වවිද්යාලයේ ව්යපාර පරිපාලන (MBA) උපාධි වැඩසටහන සඳහා ලෝක බැංකුවේ AHEAD ප්රදානයන් ලබාගැනීම, ISO 21001 සහතිකය හිමිකර ගැනීම ඇතුළු වැඩසටහන් රැසකට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.

          කැලණිය විශ්වවිද්යාලයෙන් ව්යාපාර කළමනාකරණය (ගිණුම්කරණය) පිළිබඳ ප්රථම උපාධිය හිමිකරගත් ප්රනාන්දු මහතා, කොළඹ ක්රමයේ ශිෂ්යත්ව වැඩපිළිවෙළ හරහා බටහිර බෙංගාල තාක්ෂණ විශ්වවිද්යාලයෙන් ව්යපාර පරිපාලන උපාධියක් හිමි කරගෙන ඇත. එමෙන්ම මධ්යම චීන සාමාන්ය විශ්වවිද්යාලයෙන් රාජ්ය ආර්ථික විද්යාව පිළිබඳ ආචාර්ය උපාධිය හිමි කර ගත්තේය.

          මීට අමතරව කොළඹ කොටස් හුවමාරුව සහ ශ්රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැනි මෙරට ප්රමුඛ පෙළේ මූල්ය ආයතන සඳහා උපදේශකවරයෙකු සහ සම්පත් දායකයෙකු ලෙස ද මහාචාර්ය ප්රනාන්දු මහතා කටයුතු කර ඇත.
          ශ්රී ලංකාවේ වඩාත් ගෞරවනීය මූල්ය ආයතනයකට නායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව අභිනව ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවේදී, මහාචාර්ය ප්රනාන්දු මහතා සිය සතුට ප්රකාශ කළේය. එමෙන්ම ඩිජිටල් පරිවර්තන ක්රියාවලිය වැඩිදියුණු කිරීම, ගනුදෙනුකාර කේන්ද්රීයභාවය වර්ධනය කිරීම සහ දිනෙන් දින පුළුල් වන රටේ අවශ්යතාවන්ට සහය වීම සඳහා ශක්තිමත්, තිරසර බැංකු ජාලයක් ගොඩනැගීම අරමුණු කරගත් මහජන බැංකුව සඳහා වූ ඔහුගේ දැක්ම එහි දී ඔහු අවධාරණය කළේය.

            මහ බැංකුවේ විදෙස් සංචිතය ඉහළට

            July, 5, 2024

            ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2024 ජූනි මාසය තුළ දී 4.3% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

            ඒ අනුව 2024 මැයි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,410ක්ව පැවති නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජූනි මාසය අවසානයේ දී ඩොලර් මිලියන 5,642 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

            මෙහිදී නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, ජූනි මාසය තුළ දී ඩොලර් මිලියන 5,368 සිට ඩොලර් මිලියන 5,601ක් දක්වා 4.3% කින් වැඩි වී තිබීම නිල සංචිත වත්කම් හි වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.

            මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

             

              මහ බැංකුවේ සංචිතය ඩොලර් බිලියන 4 1/2 ඉක්මවයි

              March, 8, 2024

              මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2024 ජනවාරි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 4,496 ක සංචිත වටිනාකම හා සැසඳීමේ දී 0.5% ක ඉහළ යාමකි.

              නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය පෙබරවාරි මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,480 ක් ලෙසින් සටහන්ව ඇත. මෙය 2024 ජනවාරි මාසයේ විදේශ විනිමය සංචිත වටිනාකම වූ ඩොලර් මිලියන 4,426 ට වඩා 1.2% ක වැඩි වීමක් වේ.

              මෙම නිල සංචිත වත්කම් තුළ චීන මහජන බැංකුවෙන් ලද ඩොලර් බිලියන 1.4ක අගයයකට සමාන විනිමය හුවමාරු පහසුකම ද අන්තර්ගත වේ.

              මේ අතර පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසුවේ, මේ වන විට භාවිත කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 සීමාව ඉක්මවා ඇති බවයි.

              2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ නැංවී තියෙනවා“, යනුවෙන් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

                විදෙස් සංචිත ගැන මහ බැංකුවෙන් සතුටුදායක අනාවරණයක්

                February, 1, 2024

                දළ නිල සංචිත 2023 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට එක්සත් ජනපද ඩොලර් බිලියන 4.4ක් දක්වා ඉහළ ගියේය.

                චීන මහජන බැංකුවෙන් ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන විදේශ විනිමය හුවමාරු පහසුකම මෙයට ඇතුළත් වූ අතර, එය භාවිතා කිරීම යම් කොන්දේසිවලට යටත් වේ.

                දළ නිල සංචිත ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මහ බැංකුව විසින් ශුද්ධ පදනම මත දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් සැලකිය යුතු ලෙස විදේශ විනිමය මිල දී ගැනීම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ලද ලැබීම්ය.

                සමස්තයක් වශයෙන්, මහ බැංකුව 2023 වසරේ දී ශුද්ධ පදනම මත එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9ක් පමණ මිලදී ගෙන ඇත.

                චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාර් පහසුකම ද ඇතුළුව 2023 වසරේ දෙසැම්බර් මස වන විට දළ නිල සංචිතවල ආනයන ආවරණය 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව පළමු වරට ආනයනික මාස 03ක සීමාව ද අභිබවා ගියේය.

                ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2023 දෙසැම්බර් මාසයේ විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.

                  මහ බැංකුවේ සංචිතය එකම තැන. අලුත්ම තත්ත්වය මෙන්න

                  November, 8, 2023

                  ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 3,562 ක් ලෙසින් සටහන්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

                  මෙය 2023 සැප්තැම්බර් මාසය අවසානයේ පැවති ඩොලර් මිලියන 3,540 ක් වූ නිල සංචිත වත්කම් අගය හා සැසඳීමේ දී 0.6% ක සුළු වැඩිවීමකි.

                  නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2023 ඔක්තෝබර් මාසය අවසන් වන විට ඩොලර් මිලියන 3,492 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් මාසයේ සටහන් වූ ඩොලර් මිලියන 3,499 ට වඩා 0.2% ක පහළ යාමක් වේ.

                  මෙම සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.3කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිත කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව මහ බැංකුව සඳහන් කර සිටී.

                  2022 ඔක්තෝබර් මාසයේ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩො.මි. 1,705 ක් දක්වා පමත වැටුණු අතර එය මෑත කාලයේ දී මාසයක් තුළ වාර්තා වූ අඩුම සංචිත වත්කම් ප්‍රමාණය වේ. එතැන් සිට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විවිධ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු වෙනත් මූලාශ්‍ර හරහා ලද ලැබීම් හේතුවෙන් 2023 ජූලි මාසය වන විට මෙම අගය ඩො.මි. 3,762 ක් දක්වා ක්‍රමිකව ඉහළ ගොස් තිබුණි.

                  කෙසේවෙතත් එතැන් සිට මහ බැංකුව සහ රජය බලාපොරොත්තු වූ පරිදි සංචිත වත්කම්වල වර්ධනයක් දක්නට නොලැබුණු අතර එය ඩොලර් මිලියන 3,562 ක් දක්වා සුළු වශයෙන් මේ වන විට පහත වැටී ඇත.

                  2022 ජනවාරි මාසයේ සිට 2023 ඔක්තෝබර් මාසය දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම්වල හැසිරීම පහත පරිදි වේ.

                  2022 ජනවාරි - ඩො.මි. 2,361.6

                  2022 පෙබරවාරි - ඩො.මි. 2,313.8

                  2022 මාර්තු - ඩො.මි. 1,917

                  2022 අප්‍රේල් - ඩො.මි. 1,812

                  2022 මැයි - ඩො.මි. 1,920

                  2022 ජූනි - ඩො.මි. 1,854

                  2022 ජූලි - ඩො.මි. 1,817

                  2022 අගෝස්තු - ඩො.මි. 1,716

                  2022 සැප්තැම්බර් - ඩො.මි. 1,777

                  2022 ඔක්තෝබර් - ඩො.මි. 1,705

                  2022 නොවැම්බර් - ඩො.මි. 1,804

                  2022දෙසැම්බර් - ඩො.මි. 1,898

                  2023 ජනවාරි - ඩො.මි. 2,120

                  2023 පෙබරවාරි - ඩො.මි. 2,219

                  2023 මාර්තු - ඩො.මි. 2,691

                  2023 අප්‍රේල් - ඩො.මි. 2,761

                  2023 මැයි - ඩො.මි. 3,483

                  2023 ජූනි - ඩො.මි. 3,724

                  2023 ජූලි - ඩො.මි. 3,762

                  2023 අගෝග්ස්තු - ඩො.මි. 3,600

                  2023 සැප්තැම්බර් - ඩො.මි. 3,530

                  2023 ඔක්තෝබර් - ඩො.මි. 3,562

                   

                   

                   

                    ඉන්දියානු රුපියල ගැන මහ බැංකුවෙන් දැනුම් දීමක්

                    August, 2, 2023

                    ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි කිරීම මෙමඟින් බලාපොරොත්තු වේ.

                    ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර තෝරාගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 1979 මැයි මස සිට වරින් වර නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් හඳුනාගෙන ඇත. 2022 අගෝස්තු මාසයේ දී අලුතෙන් ම නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගය වූ ඉන්දියානු රුපියල ඇතුළු ව, බැංකු පනත සහ විදේශ විනිමය පනත යටතේ පවත්නා විධිවිධාන අනුව, දැනට විදේශ ව්‍යවහාර මුදල් වර්ග 16ක් අනුමත වී ඇති අතර, ඒවා පහත පරිදි වේ.

                    නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලැයිස්තුව

                    1. ඕස්ට්‍රේලියානු ඩොලර්
                    2. කැනේඩියානු ඩොලර්
                    3. චීන රෙන්මින්බි
                    4. ඩෙනිෂ් ක්‍රෝනර්
                    5. යූරෝ
                    6. හොංකොං ඩොලර්
                    7. ඉන්දියානු රුපියල්
                    8. ජපන් යෙන්
                    9. නවසීලන්ත ඩොලර්
                    10. නෝර්වීජියානු ක්‍රෝනර්
                    11. ස්ටර්ලිං පවුම්
                    12. සිංගප්පූරු ඩොලර්
                    13. ස්විඩිෂ් ක්‍රෝනර්
                    14. ස්විස් ෆ්‍රෑන්ක්
                    15. තායි බාත්
                    16. ඇමරිකානු එක්සත් ජනපද ඩොලර

                    නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස විදේශ ව්‍යවහාර මුදල් අනුමත කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ රටවල් දෙකක් අතර පවත්නා වෙළෙඳ සහ ආයෝජන සබඳතා දිරි ගැන්වීමයි. තව ද, එමගින් ද්විත්ව පරිවර්තනය නිසා සිදුවන අමතර ගනුදෙනු පිරිවැය අඩු වනු ඇති අතර, එය විධිමත් බැංකුකරණ මාධ්‍යය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට ද සහාය වනු ඇත. දේශීය ගෙවීම් සහ පියවීම් සඳහා ශ්‍රී ලංකාවේ වලංගු මුදල් (Legal Tender) ඒකකය ලෙස ශ්‍රී ලංකා රුපියල එලෙස ම පවතිනු ඇත.

                    2000 මාර්තු මස ක්‍රියාවට නැංවුණු ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් පසුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර වෙළෙඳාම සීඝ්‍රයෙන් වර්ධනය වුණි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආර්ථික කටයුතු පුළුල් කිරීමේ අරමුණින් විශේෂයෙන් ම දෙරට අතර පවත්නා වෙළෙඳ සබඳතා දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෙරට අතර ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමට, ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීමට කැමති බව ඉන්දියාවේ මුදල් අධිකාරිය වන ඉන්දියානු සංචිත බැංකුව වෙත විවිධ අවස්ථාවන්හි දී සන්නිවේදනය කරන ලදී. ඒ අනුව, 2022 අගෝස්තු මාසයේ දී, ඉන්දියානු සංචිත බැංකුවේ එකඟත්වය සමගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කරන ලදී. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව තුළ විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියලෙහි භාවිතය ඉන්දියානු සංචිත බැංකුව විසින් නිකුත් කරනු ලබන සීමාවන්වලට යටත් වේ.

                    විශේෂයෙන් ම කුඩා පරිමාණ වෙළෙඳුන් විසින් ඉන්දියානු රුපියල්වලින් සිදුකෙරෙන බැංකු ගනුදෙනු සුමට ව සිදු කිරීමට පහසුකම් සැලසීම, වෙළෙඳ ගනුදෙනු සඳහා අවිධිමත් මාර්ග භාවිත කිරීම වෙනුවට බැංකු මාධ්‍යය භාවිත කිරීමට වෙළෙඳුන් දිරිමත් කිරීම සහ ඉන්දියානු රුපියල්, ඇමරිකානු එක්සත් ජනපද ඩොලර්වලට මාරු කිරීමේ දී සිදුවන ද්විත්ව පරිවර්තනය නිසා වන අමතර ගනුදෙනු පිරිවැය අඩු කිරීම ඇතුළු බොහෝ ප්‍රයෝජන නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස ඉන්දියානු රුපියල අනුමත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. තව ද, ඉන්දියාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන මූලාශ්‍ර රටක් වන බැවින්, බැංකු ගනුදෙනු සඳහා ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීම, ඉන්දියානු සංචාරකයින්ට වැඩි පහසුවක් එක් කරනු ඇත.

                    ඉන්දියානු රුපියල නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් වර්ගයක් ලෙස අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාව තුළ දේශීය ගෙවීම්/පියවීම් කිරීම් සඳහා ඉන්දියානු රුපියල වලංගු මුදල් ඒකකයක් (Legal Tender) බවට පත් නොවේ. ශ්‍රී ලංකාව තුළ නේවාසිකයන් අතර සිදුවන සියලු ගනුදෙනු සඳහා භාවිත කල හැක්කේ ශ්‍රී ලංකාවේ වලංගු මුදල් ඒකකය වන ශ්‍රී ලංකා රුපියල පමණකි.

                    ඒ අනුව, ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් සංසරණය වන වැරදි අර්ථකථනවලින් නොමඟ නොයන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

                      දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල වන්නේ නැහැ

                      June, 27, 2023

                      • මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට ද ඉන් බලපෑමක් නැහැ.
                      • මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට හෝ ඒ සඳහා ගෙවන පොලියකට බලපෑමක් එල්ල නොවේ.
                      • විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට කැබිනට් මණ්ඩලයට – ජනපති ගම්පහදී කියයි.

                      දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදල්වල සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බවත්, අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිඳු ආකාරයකට බලපෑමක් නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

                      එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිඳු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවේ. රටේ මිලියන 50කට අධික බැංකු තැන්පත්කරුවන්ගේ කිසිඳු තැන්පතුවකට ද මෙහි බලපෑමක් නැති බවත්, දැනට ගෙවනු ලබන බැංකු තැන්පතු සඳහා වන කිසිඳු පොලියකට බලපෑමක් එල්ල නොවන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

                      විදේශීය මෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා හෙට (27) පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

                      ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් ලේකම් පරිපාලන සංකීර්ණය ‘ලක්සියනෑ මන්දිරය’ අද (27) පස්වරුවේ ජනතා අයිතියට පවරා දෙමිනි.

                      ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවාවක් ලබාදීමේ අරමුණින් දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල පිහිටා ඇති රාජ්‍ය ආයතන 37ක් එකම ස්ථානයක ස්ථානගත කරමින් ඉදිකෙරුණු සත්මහල් පරිපාලන සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන හාරදහසකට ආසන්නය.

                      2022 වර්ෂය අවසාන වන විට ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය ණය (දේශීය හා විදේශීය) ඩොලර් මිලියන 83,700කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 128.3%ක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 2022 අවසන් වන විට සමස්ත විදෙස් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 41,500කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 63.6%කි. ඒ වන විට සමස්ත දේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 42,100ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 64.6%කි.

                      මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව පවත්වාගෙන ගියහොත් 2035 වන විට ද රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 100%කටත් වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශීය ණය හිමියන් මේ වන විටත් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර ඇති බව පැවසීය.

                      ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ඇති කිරීමට නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යාවශ්‍ය අතර දේශීය ණය ද ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇති බව සඳහන් කළේය.

                      බාහිර ණය හිමියන් වශයෙන් විදෙස් ණය හිමියන් විශාල බරක් දරණ අතර, ඉදිරි වසර 05 තුළදී පමණක් විදේශ ණයකරුවන්ගෙන් ඇමරිකානු ඩොලර් බිලියන 17ක දායකත්වයක් ලබා ගැනීමට නියමිත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ අනුව අපේ දේශීය ණයකරුවන්ගෙන් ද ඊට දායකත්වයක් ලබා දිය යුතුව ඇති බව පැවසීය.

                      මහජනතාවගේ බැංකු තැන්පතු ආරක්ෂා කිරීමේ මූලික අරමුණ ඇතිව මෙම යෝජනාව සකස් කර තිබෙන අතර, මහබැංකු නියාමනය යටතේ පවත්වාගෙන යන සියලු බැංකුවල බැංකු තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රධාන වගකීමක් බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

                      ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අනුව බැංකු තැන්පත්කරුවන්ට කිසිඳු හානියක් නොවන අතර බැංකු පද්ධතිය කඩා වැටීමකට ලක් නොවන බවත් එමඟින් සිදු වන්නේ ආර්ථිකය යළි නඟා සිටුවිය හැකි ප්‍රතිව්‍යුහගත කිරීමකට මග සෑදීම පමණක් බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.‍

                      රටේ ආර්ථික ප්‍රකෘතිය ඇතිවීම, පොලී අනුපාතය අඩු වීම, රජයට පහසුවෙන් සහනාධාර මුදල් සැපයීමට හැකි වීම, ඊළග වසර 10 තුළ දේශීය හා විදේශීය වශයෙන් ණය බර අඩු වී එමඟින් ලැබෙන යහපත් ප්‍රතිඵල රටේ මහජනතාවට මෙමගින් හිමිවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

                      පසුගිය ප්‍රංශ නිල සංචාරයේ දී පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂීයා ස්කොට්ලන්ඩ්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා, නෙදර්ලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය (පළමු) සහ මුදල් අමාත්‍ය සිග්‍රිඩ් කාග්, ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජෙනට් යෙලන්, ජපාන විදෙස් අමාත්‍ය යොෂිමාසා හයාෂි යන අය සමග විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ අත්පත් කරගෙන යනු ලබන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

                      මෙහිදී ශ්‍රී ලංකාවේ මතුව තිබු අර්බුදය ආපසු හැරවීමට හැකිවීම ගැන මේ සියලු දෙනා සතුට පළ කළ බවත්, ඉදිරියේ දී ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා උපරිම දායකත්වය ලබාදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

                      ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමඟ මෑතකදී කළ දුරකථන සංවාදයේ දී ද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ආර්ථික ස්ථායීතාවයට සුබවාදී දායකත්වය පිරිනමන බව ප්‍රකාශ කළ අතර, ඉදිරි ඉන්දීය සංචාරයේ දී ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකට එළැඹීමට නියමිත බවත් ජනාධිපතිවරයා පැවසීය.

                      මේ මොහොතේ දී චීන නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා එරට විදේශ අමාත්‍ය ක්වින් ගැන්ඩ් මහතා සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ දී දෙරට අතර බහුපාර්ශවීය සහ ආර්ථික සබඳතා සවිමත් කර ගැනීමට එකඟ වී ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

                      එසේම චීන මුදල් අමාත්‍ය ලී ක්‍යුන් මහතා සමග බීජිං නුවර පැවතී සාකච්ඡාවේ දී මෙරට ආර්ථික ස්ථායීකරණය සහ ස්ථාවර ප්‍රගතිය වෙනුවෙන් වන සැලසුම පිළිබඳව දැනුවත් කර ඇති බවත් පසුගිය අර්බුදකාරී සමයේ චීනය ලබාදුන් විශේෂ දායකත්වය පිළිබඳව ද අලි සබ්‍රි මහතා සිය ස්තූතිය පිරිනැමීමට කටයුතු කළ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

                      මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය විසින් පත් කර ඇති චීන එක්සීම් බැංකුවේ සභාපති වූ ෆුලින් සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත්, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හැකි උපරිම ආකාරයෙන් දායකත්වය ලබාදෙන බව ඔවුන් සඳහන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

                      අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, ලසන්ත අලගියවන්න, ජානක වක්කුඹුර, ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, මිලාන් ජයතිලක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.