AIA ඉන්ෂුවරන්ස් වෙතින් සියළු සේවාලාභීන් වෙත COVID-19 සඳහා නොමිලේ අමතර ආවරණයක්

March, 19, 2020

AIA ඉන්ෂුවරන්ස් (ශ්‍රී ලංකා) සමාගම අද ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ AIA ඉන්ෂුවරන්ස් සමගින් දැනට රක්ෂණය වී සිටින සහ ඉදිරියේ දී රක්ෂණය වීමට බලාපොරොත්තු වන සියළුම සේවාලාභීන් වෙනුවෙන්, COVID-19 නව කොරෝනා වෛරස් රෝගය සඳහා නොමිලේ අමතර ආවරණයක් ලබා දීමට සමාගම තීරණය කර ඇති බවයි. මෙම වෛරස් රෝගය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ පා සිටින අවදානම් තත්ත්වය සලකා බලා මෙම අමතර ආවරණය ලබා දීමට කටයුතු කල බව සමාගම ප්‍රකාශ කර සිටියි.

COVID-19, නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන යම් ජීවිත හානියක් සඳහා ජීවිත රක්ෂිතයෙකු වෙනුවෙන් රු. 500,000 ක අමතර ආවරණයක් AIA ඉන්ෂුවරන්ස් වෙතින් සියළුම ජීවිත රක්ෂණ හිමියන් වෙත නොමිලේ ලබා දෙනු ඇත. මෙය රක්ෂණ හිමියා වෙත ස්වාභාවික මරණයකදී ලැබෙන ජීවිත ආවරණයට අමතරව ලැබෙනු ඇති අතර ලබාගෙන ඇති රක්ෂණ වරය කුමක් වුවත් ඒ සඳහා ලැබෙන ආවරණයේ අගය කුමක් වුවත් ඒ පිළිබඳව නොසලකා සියළු රක්ෂණ හිමියන් වෙත නොමිලේ ලබා දෙන අමතර ප්‍රතිලාභයකි.

මෙම අමතර ආවරණය ලබාදීමට හේතු වූයේ මෙම අවස්ථාවේ දී අපගේ වටිනා රක්ෂණවර හිමියන්හට ඇති වී ඇති අවදානම් තත්ත්වය සඳහා ඔවුන් වඩාත් සූදානාම් කිරීමට මෙන්ම ඔවුන්ගේ රැකවරණය තහවුරු කිරීමටත්, අපගේ සන්නාම ප්‍රතිඥාව වන සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට සහාය වීම යන්න තවදුරටත් ක්‍රියාත්මක කිරීමටත්ය. AIA ඉන්ෂුවරන්ස් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී නිකිල් අද්වානී කියා සිටියේ “COVID-19” නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය පිළිබඳව ලොව පුරා මෙන්ම දැනට ශ්‍රී ලංකාවේත් පවතින අවදානම පිලිබඳව අප හොදින් දන්නා කරුණක්. මේ අවස්ථාවේ අපට වඩාත් වැදගත් වන්නේ අපගේ සේවාලාභීන්ගේ යහ පැවැත්මයි. ඔවුනට අපගේ සේවය අත්‍යාවශ්‍යම මේ මොහොතේදී අප ඔවුන් වෙනුවෙන් කැපවී කටයුතු කිරීම මූලිකත්වයේ ලා සලකනවා”.

ඔහු තවදුරටත් කථා කරමින් කියා සිටියේ “රක්ෂණ සමාගමක් වශයෙන් අපගේ ප්‍රධාන කාර්යභාරය වනුයේ සේවාලාභීන් සහ ඔවුන්ගේ ආදරණීයයන් මුහුණ දෙන නොයෙකුත් අභියෝග ඉදිරියේ නොසැලී සිටීමට අවශ්‍ය ශක්තිය සහ ඔවුනගේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමයි. ඒ වගේම මේ අවස්ථාවේ මෙරට තුල කොරෝනා වෛරසය පැතිර යාම ඉතා ඉක්මනින් වලක්වා ගැනීමට හැකිවේවායි මෙන්ම එමගින් රටට සහ ජනතාවට ඇතිවන බලපෑම අවම වේවායි ද යන්න අප ඉතසිතින් ප්‍රාර්ථනා කර සිටිනවා”.

එමෙන්ම රජය විසින් ලබාදෙන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින ලෙස මා සියළු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර සැමදෙන එක්ව හැකිතාක් ඉක්මනින් මෙම උවදුර පාලනය කරගනිමින් අප එකිනෙකාගේ සහයෙන් සැමට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීමට හැකි වේවායි කියා ප්‍රාර්ථනා කරමු.

මෙම “COVID-19” නව කොරෝනා වෛරසය සඳහා වන අමතර ආවරණ ප්‍රතිලාභය 2020 ජුනි මස 30 වනදා තෙක් වලංගු වනු ඇති අතර වැඩිදුර විස්තර සඳහා දුරකථන අංක 0112 310 310 ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් අමතන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.