Ather Energy වෙතින් ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළට නවතම අත්දැකීමක්

    December, 11, 2024

    ඉන්දියාවේ ප්‍රමුඛතම ඉලෙක්ට්‍රික් වාහන නිෂ්පාදකයා වන Ather Energy සමාගමේ ශ්‍රී ලංකා සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින්, ඉලෙක්ට්‍රික් ස්කූටර් මිලදී ගැනීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට සමීප අත්දැකීමක් ලබාදීමෙහිලා පළමු ප්‍රදර්ශනාගාරය පසුගියදා කොළඹ, මරදාන පාරේ විවෘත කරනු ලැබීය. මෙරට ඉලෙක්ට්‍රික් ස්කූටර් වෙළෙඳපොළේ විප්ලවීය පෙරළියක් සිදුකරමින් Ather Energy සමාගමේ Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටරය එදින ශ්‍රී ලංකාවට හඳුන්වාදීම සිදුකෙරිණ. Atman Group සහ Sino Lanka Private Limited සමාගම් කොටස් හිමිකාරීත්වයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලාංකීය තිරසර විද්‍යුත් ප්‍රවාහන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන Evolution Auto (පුද්) සමාගම Ather Energy සමාගමේ ශ්‍රී ලංකා බෙදාහැරීම් නියෝජිත ආයතනය ලෙස කටයුතු කරයි.

    අති නවීනතම තාක්ෂණය මුසුවූ උසස්ම තත්ත්වයෙන් හා ආකර්ෂර්‍ණය නිමාවෙන් හෙබි Ather 450X සුපිරි ඉන්දියානු ඉලෙක්ට්‍රික් ස්කූටර මාදිලි පෙළ ඔබට පෙර නොවිඳි අන්දමේ අද්විතීය ධාවන අත්දැකීමක් පිරිනමයි. ශක්තිමත් කල්පවත්නා විද්යුත් මෝටරයකින් (Robust electric motor) බලගැන්වෙන Ather 450X හි වේගවත් ඇක්සලරේටරය පැයට කිලෝමීටර 90 ක උපරිම වේගයක් ලබාදීමෙහිලා සමත්ය. ස්කූටරයේ ධාවන තත්ත්වය පිළිබඳ හා ධාවකයාට අවශ්‍ය තවත් තොරතුරු රැසක් ලබාදෙන ස්මාට් ඩෑෂ්බෝඩය, ආසනය යට බහාලනයේ වැඩි ඉඩකඩ, පුනර්ජනනීය තිරිංග පද්ධතිය (Regenerative braking), මිනිත්තු 60 කදී බැටරිය 80% ක් ආරෝපණය වීම (Fast-charging) මෙහි ප්‍රධාන විශේෂාංග අතර වේ.

    පරිසර හිතකාමී ගමනාගමන හා ප්‍රවාහන ප්‍රතිපත්තියක් කරා ශ්‍රී ලංකාව පියවර තබන ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ ඉන්දියානු Ather Energy සමාගමේ සහ ශ්‍රී ලාංකීය Evolution Auto (පුද්) සමාගමේ එකමුතුවෙන් ශ්‍රී ලංකාවේ විවෘත වූ පළමු ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට Ather Energy වෙනුවෙන් එහි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී රව්නීත් පොකේලා සහ අලෙවි හා සේවා අංශ ප්‍රධානී ගරින්දර් සිං මහත්වරුන් මෙන්ම Sino Lanka Private Limited සභාපති බොබ් කුන්දන්මල්, Sino Lanka Private Limited අධ්‍යක්ෂ ධිරේන් කුන්දන්මල්, Atman Group අධ්‍යක්ෂ නාදන් සිවඥානදන් සහ Atman Group අධ්‍යක්ෂ රංජිත් ලියෝන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්වූහ.

    සාම්ප්‍රදායික වාහනවලට වඩා වාසි රැසක් ගෙන එන ඉලෙක්ට්‍රික් වාහන භාවිතයට ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීමට හා Ather 450X පාරිභෝගිකයන්ගේ පහසුව වෙනුවෙන් දීප ව්‍යාප්ත Ather Grid ආරෝපණ මධ්‍යස්ථාන (Fast-charging stations) ජාලයක් ඇරඹීමට Evolution Auto (පුද්) සමාගම සැලසුම් සකස් කොට ඇත. අතිනවීන තාක්ෂණයෙන් හා නව්‍යකරණයෙන් බලගැන්වූ පරිසර හිතකාමී කාර්යක්ෂම විද්යුත් ප්‍රවාහන විසඳුම් ලබාදෙමින් ආසියානු කලාපයේ හරිත ප්‍රවාහන සංස්කෘතියක් ගොඩනැගීමෙහිලා වෙහෙසෙන Ather Energy සමග අත්වැල් බැඳගත් Evolution Auto (පුද්) සමාගම එම ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට රැගෙන එන නියෝජිතයා ලෙස කටයුතු කරයි.

    ප්‍රදර්ශනාගාරය විවෘත කළ අවස්ථාවේදී Ather Energy වෙනුවෙන් අදහස් දැක්වූ එහි ප්‍රධාන ව්‍යාපාර නිලධාරී රව්නීත් පොකේලා මහතා “ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්නට ලැබීම පිළිබඳ අප බෙහෙවින් සතුටුවනවා. Ather 450X ස්කූටරය ශ්‍රී ලංකාවේ ඕනෑම මාර්ග තත්ත්වයකට ගැලපෙන නිසා කාර්යක්ෂම, සුවපහසු මෙන්ම සහනශීලී ධාවන අත්දැකීමක් ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ විද්යුත් වාහන වෙළෙඳපොළ සකස්වෙමින් පවතින මූලික අවධියේදීම සම්බන්ධ වෙමින් වෙළෙඳපොළ පුළුල් කිරීමට දායකවන්නට ලැබීමට අපට මහත් ගෞරවයක්” යැයි පැවසීය.

    Evolution Auto (පුද්) සමාගම වෙනුවෙන් අදහස් දැක්වූ සාමාන්‍යාධිකාරී සහ්රාන් සියාවුදීන් මහතා “විද්යුත් වාහන ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන Ather Energy සමග එක්වන්නට ලැබීම අප ලද මහත් භාග්‍යයක්. මෙම ව්‍යාපාරික සහයෝගීතාවයෙන් තිරසර වූ හරිත අනාගතයක් උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රය තුල අපගේ ව්‍යාපාරික මෙහෙවර වඩාත් ශක්තිමත්වනවා.” යැයි පැවසීය.