CCFM සඳහා ප්‍රථම වරට පැවැත්වූ සම්මාන උළෙල කොළඹ කොටස් හුවමාරුව අධ්‍යාපන ඇකඩමිය විසින් පවත්වනු ලබයි

    April, 11, 2025

    ප්‍රථම වරට පවත්වන ලද CCFM සම්මාන උළෙලේදී මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව (CCFM) සාර්ථකව නිම කළ සිසුන්ගේ සුවිශේෂී ජයග්‍රහණ කොළඹ කොටස් හුවමාරුව අධ්‍යාපන ඇකඩමිය විසින් ඇගයුමට ලක් කළ අතර, මූල්‍ය සාක්ෂරතාව සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුව අධ්‍යාපන ඇකඩමිය සතු කැපවීම ඒ හරහා පිළිඹිබු විය.

    දැනුවත්භාවයෙන් යුතු මූල්‍ය තීරණ ගැනීම පිළිබඳ පුළුල් අවබෝධයකින් පුද්ගලයින් සන්නද්ධ කරමින් මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා CCFM පාඨමාලාව සැලසුම් කර ඇත. ආයෝජන මූලික කරුණු, කොටස් තෝරා ගැනීමේ ශිල්පීය ක්‍රම සහ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය යනාදිය ආවරණය කරන ප්‍රධාන මොඩියුල තුනකින් සමන්විත ව්‍යුහගත විෂය මාලාවකින් මෙම පාඨමාලාව සමන්විත වන අතර, කර්මාන්ත විශේෂඥයින් සහ ප්‍රමුඛ පෙළේ විද්වතුන් ඇතුළු කීර්තිමත් කථිකාචාර්ය  මණ්ඩලයක මඟපෙන්වීම යටතේ එය පවත්වා ඇත.

    කොළඹ කොටස් හුවමාරුව අධ්‍යාපන ඇකඩමියේ කළමනාකාර තාරක අමරසේන මහතා ආරම්භක අවස්ථාවේදී මෙලෙස සිය අදහස් දැක්වුවේය. “මෙම පාඨමාලාව සාර්ථකව නිම කළ සිසුන් 104 දෙනා පිළිබඳව අපි ඉමහත් ආඩම්බර වන අතර, ඒ හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය වෙළඳපොළ කෙරෙහි ඉහළ යමින් පවතින උනන්දුව පිළිබිඹු කෙරේ. මෙම ත්‍රෛභාෂික, මාර්ගගත පාඨමාලාව මඟින් මූල්‍ය ක්ෂේත්‍රය තුළ විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීමට අත්‍යවශ්‍ය දැනුම හිමි කර දී ඇත. මෙම ක්ෂේත්‍රය ඔස්සේ තවත් ඉදිරියට යාමට අපේක්ෂා කරන අයට, මූල්‍ය වෙළඳපොළ පිළිබඳ උසස් ඩිප්ලෝමාව (ADFM) මඟින් සිය විශේෂඥතාව වැඩි දියුණු කිරීමට, වර්ධනය වේගවත් කිරීමට සහ වෘත්තීය අවස්ථා විවෘත කිරීමට සෘජු මාර්ගයක් සපයනු ඇත. ”

    උපාධිධාරීන් අමතමින් ප්‍රධාන ආරාධිත අමුත්තා වන CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා මෙසේ පැවසුවේය. “පුද්ගලයන්ට විශ්වාසයෙන් ආයෝජනවල නිරත විය හැකි, වෙළඳපොළ ප්‍රවණතා අවබෝධ කර ගත හැකි සහ ජාතික ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් සැපයිය හැකි එමෙන්ම මූල්‍යමය දැනුවත්භාවයෙන් යුතු සමාජයක් නිර්මාණය කිරීම අපගේ මෙහෙවර වේ. මෙම සහතික පත්‍ර පාඨමාලාව එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වන පියවරක් වන අතර, සිසුන් සහ ආයෝජකයින් යන දෙපාර්ශවයම තම දැනුම වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම අවස්ථාව හා සම්බන්ධ වනු දැකීම දිරිගන්වන සුළුය. ”

    සම්මානලාභීන්ගේ ජයග්‍රහණවල වැදගත්කම පිළිබඳව ප්‍රශංසා කරමින්, ප්‍රධාන දේශක ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසුවේය. “දැනුවත්භාවයෙන් යුතු තීරණ ගැනීමට, කල්පනාකාරී ලෙස ආයෝජනය කිරීමට සහ තිරසාර ධනයක් ගොඩනගා ගැනීමට මූල්‍ය සාක්ෂරතාවහරහා පුද්ගලයන් සවිබල ගැන්වේ. CSE අධ්‍යාපන ඇකඩමියේ සහතිකලාභීන් ලෙස, මෙම ක්ෂේත්‍රයේ ඵලදායී අයුරින් කටයුතු කිරීමට ඔබට දැන් මූලික දැනුම සහ සම්පත් හිමිව ඇත. කොළඹ කොටස් හුවමාරුව සහ අනෙකුත් ආයෝජන මාර්ග මූල්‍ය වර්ධනය සඳහා අවස්ථා සපයා ඇති අතර ඒවා කල්පනාකාරී ලෙස භාවිත කිරීමෙන්, දිගුකාලීන ප්‍රතිලාභ සඳහා මඟ පෑදෙනු ඇත.”

    මූල්‍ය වෙළඳපොළවල සංකීර්ණතා ඔස්සේ කටයුතු කිරීමට අවශ්‍ය මූලික දැනුමෙන් පුද්ගලයන් සවිබලගන්වන ව්‍යුහගත ඉගෙනුම් අවස්ථා ලබා දීම හරහා මූල්‍ය අධ්‍යාපනයේ පරතරය පියවීම සඳහා මූල්‍ය වෙළඳපොළ පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව නිර්මාණය කර ඇත. සිය මූල්‍ය නිපුණතාවය වැඩි දියුණු කිරීමට උත්සාහ කරන සිසුන්ට, ආයෝජකයින්ට හෝ පුද්ගලයින්ට, විශේෂයෙන්ම ඔවුන් සතුව වෙළඳපොළ පිළිබඳ පූර්ව අවබෝධයක් නොමැති අවස්ථාවලදී, මෙම පාඨමාලාව කදිම තෝතැන්නක් ලෙස දැක්විය හැක.

    ආයෝජකයෙකු වීමට, මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියක් හඹායාමට හෝ තම මූල්‍ය අනාගතය සුරක්ෂිත කර ගැනීමට කැමති අයට CCFM ශක්තිමත් පදනමක් සපයයි. මෙම පාඨමාලාව සාර්ථකව නිම කිරීමෙන් පසු උසස් පෙළ සුදුසුකම් නොමැතිව වුව ද මූල්‍ය වෙළඳපොළ පිළිබඳ උසස් ඩිප්ලෝමා (ADFM) පාඨමාලාවට සෘජුවම සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ.

    CSE අධ්‍යාපන ඇකඩමියේ පාඨමාලා පිළිබඳ වැඩිදුර තොරතුරු සහ ඉදිරි බඳවා ගැනීම් පිළිබඳ විස්තර සඳහා කරුණාකර 011 2356 531/543 අමතන්න.

     

    ඡායාරූපය - මූල්‍ය වෙළඳපොළ පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව (CCFM) සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීම