CCPI උද්ධමනය – සැප්තැම්බරයේ දී සුළු පහළ යාමක්

    October, 2, 2020

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද. - CCPI, 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.0 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. 2019 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය හේතුවෙන් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය. ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 12.3හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 11.5 දක්වා පහළ ගියේය. එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 0.8හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 0.9 දක්වා ඉහළ ගියේය.

    වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කො.පා.මි දර්ශකයෙහි වෙනස ද, 2020 අගෝස්තු මාසයේ පැවති සියයට 4.8හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා පහළ ගියේය.

    2020 සැප්තැම්බර් මාසයේ දී කො.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.7ක් ලෙස වාර්තා විය. ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම මේ සඳහා හේතු විය. ඒ අනුව, 2020 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයෙහි එළවළු, පොල්, පළතුරු සහ ලොකු ළූණු මිල ගණන් ඉහළ ගියේය. ආහාර නොවන කාණ්ඩයෙහි, මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ, සහ ප්‍රවාහන උපකාණ්ඩවල අයිතමයන්හි මිල ගණන් 2020 සැප්තැම්බර් මාසයේ දී ඉහළ ගියේය.

    ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2020 අගෝස්තු මාසයේ දී පැවති සියයට 3.2හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 2.9 දක්වා පහළ ගියේය. තවද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 අගෝස්තු මාසයේ දී පැවති සියයට 3.8හි සිට 2020 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.6 දක්වා පහළ ගියේය.