CDB පරිගණක පියස හරහා පාසල් සිසුන් 12,000කට තොරතුරු තාක්ෂණ දැනුම

1CDB-565

රට පුරා පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණින් සිටිසන්ස් ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පී.එල්.සී. (CDB) සමාගම තම ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ ‘පරිගණක පියස’ වැඩසටහනට මේ වනවිට වසර දහයක් සම්පූර්ණ වී තිබේ. සැමට සමාන ලෙස දැනුම බෙදීයාමේ අදහසින් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය තුළින් අවම පහසුකම් සහිත පාසල් තෝරාගනිමින් ඒවායේ පරිගණක අධ්‍යාපනය දියුණු කිරීම ඉලක්කය වේ.

ගෙවුණු දශකයක කාලය තුළ මෙම වැඩසටහන ඔස්සේ නගරයේත් ගමේත් දැනුම් පරතරය අවම කරමින් අඩු පහසුකම් සහිත පාසල් 10ක සිසු සිසුවියන් 12,000කට අධික ප්‍රමාණයකට සෙත සලසමින් පරිගණක මධ්‍යස්ථාන පිහිටුවනු ලැබිණ. පරිගණක පියස වැඩසටහනේ තවත් සුවිශේෂීතාවක් වන්නේ එය ප්‍රජා මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාකරමින් අවට ප්‍රදේශවාසී ජනතාවට ද පරිගණක අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව හිමිවීම ය.

අධ්‍යාපන අමාත්‍යංශයේත් කලාප අධ්‍යාපන නිලධාරීන්ගේත් සහාය ඇතිව සෑම වසරකදීම මෙසේ එක් පාසලක් සඳහා පරිගණක මධ්‍යස්ථානයක් සැපයීමට CDB පියවර ගෙන තිබේ. එම ආයතනවල හා නිලධාරීන්ගේ නිර්දේශ මත පරිගණක පහසුකම් නොමැති පාසල් තෝරාගනිමින් ඊට අදාළව ස්වාධීන ඇගැයුමක් ද සිදුකෙරේ. එසේ තෝරාගනු ලැබූ පාසලකට අති නවීන පරිගණකවලින් සමන්විත පරිගණක මධ්‍යස්ථානයක් හිමිවන්නේ, මෘදුකාංග, පරිගණක මේස, ආසන, ස්කෑන් යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර හා බහු මාධ්‍ය පහසුකම් ආදිය ද සමඟිනි. මේ තුළින් අදාළ පාසලේ සිසු දරුදැරියන්ට මෙන්ම එම ප්‍රදේශයේ ජනතාවට ද බාහිර ලෝකය හා සැණෙකින් සම්බන්ධ වීමේ අවස්ථාව උදාවී ඇත.

තොරතුරු සන්නිවේදන තාක්ෂණය යනු අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂයයක් වන අතරම, පරිගණකය සෑම කෙනෙකුටම එදිනෙදා ජීවිතයේ වැඩකටයුතු සඳහා නැතිවම බැරි දෙයක් බවට පත්වී තිබේ. මේ පසුබිම තුළ මෙම පාසල් 10ක පරිගණක මධ්‍යස්ථාන ඉදිකිරීම වෙනුවෙන් CDB සිදුකළ රුපියල් මිලියන 12කට වැඩි ආයෝජනයේ දිගුකාලීන වටිනාකම අති මහත් ය. තව ද මේ යටතේ සිදුවන්නේ හුදෙක් පරිගණක කිහිපයක් ලබාදීම පමණක් නොවේ. එහි නඩත්තු කටයුතු සඳහා ද අඛණ්ඩ සහායක් ලබාදෙන අතරේ එම පාසල්වල සිටින තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ට පරිගණක මධ්‍යස්ථානය වඩාත් ඵලදායීව භාවිතයට ගැනීමේ හැකියාව ගැන නිසි දැනුවත්භාවයක් ලබාදීමත් CDB සිදුකරයි.

CDB ආයතනය විශ්වාස කරන අන්දමට තාක්ෂණයට ඇති අවස්ථා පුළුල් කරමින් ග්‍රාමීය ප්‍රදේශවල සිසුන් සවිබල ගැන්වීම, මෙරට ඩිජිටල් සාක්ෂරතාව දියුණු කිරීමේදී අතිශය වැදගත් වේ. විශේෂයෙන්ම ආයතනික පුරවැසියෙකු ලෙස දේශීය ප්‍රජාවගේ අධ්‍යාපන මට්ටම ඉහළ දැමීම සඳහා ධනාත්මක පියවර ගැනීම CDB හි ඉහළ පුමුඛතාවයක් වී තිබේ.

සැමට අධ්‍යාපනයේ අවස්ථා උදාකරලීම යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක අතුරින් ප්‍රධාන ඉලක්කයකි. පාසල් සිසුන්ට පමණක් නොව ප්‍රදේශවාසීන්ට පවා පරිගණක අධ්‍යාපනය හිමිකරදෙන CDB ආයතනයේ මෙම ප්‍රයත්නය රටක් ලෙස එම ඉලක්ක පූරණය කරගැනීමට ද විශාල දායකත්වයක් සපයයි. එමෙන්ම තාක්ෂණය සඳහා පවතින ප්‍රවේශය දියුණු වීම යනු සෙසු තිරසාර සංවර්ධන ඉලක්ක 16 ළඟාකරගැනීම සඳහා ද ඉඩ සලසවන්නකි. මන්ද යත් රටක් මුහුණ දෙන සෑම ප්‍රශ්නයකටම ඉහළ අධ්‍යාපනයක් තුළින් විසඳුම් නිර්මාණය වන බැවිනි.

සබරගමුව පළාතට අයත් මාවනැල්ල හෙම්මාතගම කෙහෙල්පන්නල කනිෂ්ඨ විදුහලට පරිගණක මධ්‍යස්ථානයක් තිලිණ කරමින් CDB හි පරිගණක පියස ව්‍යාපෘතියේ දසවැනි සංවත්සරය සමරනු ලැබිණ. ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සවයකට CDB ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය, පාසලේ හා කලාපයේ අධ්‍යාපනය නිලධාරීන්, සිසුන්, දෙමාපියන් හා තවත් බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී තොරතුරු සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් CDB සංවිධානය කළ විශේෂ සම්මන්ත්‍රණය කාගේත් පැසසුමට බඳුන්විය. එහි පැමිණි සිටි මාවනැල්ල අධ්‍යාපන කලාපයේ නිලධාරීන් වෙත මෙම වැඩසටහනේ වැදගත්කම මෙන්ම ජාතික සංවර්ධනයෙහිලා තොරතුරු තාක්ෂණයේ ඇති වටිනාකම ගැන දැනුවත් කිරීමක් ද සිදුවිය.

මේ අවස්ථාවේදී අදහස් දක්වමින් කෙහෙල්පන්නල කනිෂ්ඨ විදුහලේ විදුහල්පති යූ.ආර්. දයානන්ද මහතා මෙසේ පැවසීය. “වර්තමානයේදී අධ්‍යාපනයටත් සන්නිවේදනයටත් පරිගණක භාවිතය සහ අන්තර්ජාල ප්‍රවේශය අත්‍යවශ්‍යතාවක් බවට පත්වෙලා. CDB ආයතනය නිසා දැන් අපේ සිසුන්ටත් ප්‍රදේශවාසීන්ටත් තමන්ගේ දැනුම කුසලතා වර්ධනය කරගැනීමටත්, රැකියා වෙළෙඳපොළ වෙනුවෙන් සූදානම්වීමටත් ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමටත් මඟපෑදිලා. අපේ සිසුන්ව ඩිජිටල් ලෝකය හා සම්බන්ධ කිරීමට ලබාදුන් මේ දායකත්වය වෙනුවෙන් CDB ආයතනයට අපේ හෘදයාංගම ස්තූතිය හිමිවෙනවා”.

CDB යනු මෙරට ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයකි. රට පුරා ශාඛා 69ක් සහිත CDB, ග්‍රාමීය මෙන්ම නගරබද ජනතාව වෙත ද එකසේ තම සේවා සපයයි. උසස් පාරිභෝගික සම්බන්ධතාවක් කේන්ද්‍ර කරගත් මෙම පුළුල් ශාඛා ජාලය තුළින් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමටත් සියලු ජනකොටස් වෙත ආර්ථික මෙන්ම වෘත්තීමය අරමුණු ජයගැනීමටත් සිය දායකත්වය ලබාදී ඇත. ඒ ජාතික සංවර්ධන සැලැස්මට අදාළ ඉලක්ක ජයගැනීම වෙනුවෙන් ද තම වගකීම් ඉටුකරමිනි.