COVID-19 වසංගතයෙන් පසු ක්ෂුද්‍ර මූල්‍ය සේවා යලි යථාතත්වයට පත්කෙරේ

    July, 6, 2020

    ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන්ගේ මූල්‍ය අවශ්‍යතා වඩාත් හොඳින් හඳුනාගනිමින් අඩුම පොළී අනුපාතිකයක් යටතේ ඒවා සැනෙකින් ඉටුකර දීමෙහිලා නම්‍යශීලී හා සහනශීලී මූල්‍ය ප‍්‍රතිපත්තියකින් යුතුව ක‍්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවාවන් උපකාරීකොටගෙන ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් බිහිවී සිටියි. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය හා  එහි ප‍්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ගේ වත්මන් තත්ත්වය හා ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමය (LMFPA)  ඒ වෙනුවෙන් දියත්කරනු ලබන ක‍්‍රියාකාරී වැඩපිළිවෙල පිළිබඳ එම සංගමයේ සභාපති අනුර අතපත්තු සහ උප සභාපති ප‍්‍රියන්ත දෙමටගොඩ යන මහත්වරුන් සමග කළ සාකච්ඡාවක් ඇසුරෙනි.

    COVID-19  වසංගතය හමුවේ ගනුදෙනුකාර භවතුන් මෙන්ම ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමයේ සාමාජිකත්වය ලත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනද ඉමහත් අසීරු තත්ත්වයකට මුහුණ පෑහ. ගනුදෙනුකාරභවතුන්ගේ ආර්ථික අපහසුතා හමුවේ වත්මන් ණය වාරික ගෙවීමේ හැකියාව බිඳවැටීමත් සමග නව ගනුදෙනුකාරභවතුන් වෙනුවෙන් ණය නිකුත් කිරීමේ අපහසුතාවක් පැන නැගී ඇති බව ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමයේ උප සභාපති ප‍්‍රියන්ත දෙමටගොඩ මහතා අදහස් දක්වමින් පැවසුවේය. ණය වාරික අයකරගැනීම් ජාලය බිඳ වැටුනද 22,000 කට අධික මූල්‍ය ක්ෂේත‍්‍ර වෘත්තිකයන්ගේ සුභසාධනය උදෙසා අඛණ්ඩව වැටුප් ලබාදෙමින් ස්ථාවර හා අනිවාර්යය ආයතනික මෙහෙයුම් වියදම් පවත්වාගැනීමට ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ට සිදුවූ බවත් සාමාජික සමාගම් සියල්ලේ ඒකමතික තීරණයක් අනුව ගනුදෙනුකාරභවතුන්ගේ අතපසුවූ ණය වාරික ගෙවීම සඳහා මාස 3 ක සහන කාලයක් ලබාදීම සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

    ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමයේ සභාපති අනුර අතපත්තු මහතා අදහස් දක්වමින් සංගමයේ  සාමාජික ආයතන ගණනාවක් රජයේ නිරෝධායන වැඩපිළිවෙලට ආයතනික වශයෙන් දායකත්වය ලබාදී තිබෙන බවත් අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකා ග‍්‍රාම නිලධාරීවරුන්ගේ සංගමයට හා ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයට තම සංගමයෙන් පරිත්‍යාගයක් වශයෙන් මුඛ ආවරණ තොග ලබාදුන් බවත් පැවසීය. සංගමයේ සාමාජික ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන්ගේ සේවාවන් සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාම වෙනුවෙන් උපදෙස් මාලාවක්ද නිකුත්කොට ඇතැයිද ඔහු පැවසීය. ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමය ලෙස ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ ඇතිව තිබෙන ගැටළුකාරී තත්ත්වය සහ ඒවා විසඳාගනිමින් ග‍්‍රාමීය ආර්ථිකය යලි නගාසිටුවීම පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකාය සමග සාර්ථක සාකච්ඡා වට කිහිපයක්ම මේ වනවිට පවත්වා ඇති බව පැවසූ අතපත්තු මහතා ආර්ථික අමාත්‍යාංශය, මෙරට ප‍්‍රධාන පෙළේ බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව සමගද සාකච්ඡා පවත්වා ඇතිබව වැඩිදුරටත් පැවසීය.

    ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ පසුගිය කාලයේ මතුවූ ගැටළු පිළිබඳ සිහිපත් කළ ඔවුන් මහජන හිතකාමී සැබෑ ග‍්‍රාමීන් සංකල්පය මත පදනම්ව නිර්මාණය වූ ක්ෂුද්‍ර මූල්‍ය සේවයේ සැබෑ ප‍්‍රතිලාභ ජනතාව අතරට රැගෙන යාමට, ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ දැනට පවතින අසාරවත් පැතිකඩ නිසි ලෙස හඳුනාගෙන එහි සාරවත් පැතිකඩ කෙරෙහි වැඩි නැඹුරුවක් වෙත යොමු කරවීමට නම් විය යුත්තේ මේ ණය ක‍්‍රම පිළිබඳ ව පුළුල් දැනුමක් ජනතාවට බිම් මට්ටමින් ලබා දීම හා ක්ෂුද්‍ර මූල්‍ය ණය රටාව යම් නියාමනයකට නතු කිරීම බව අවධාරණය කළහ.

    ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රතිපත්ති හා නීති රීති රෙගුලාසි පිළිබඳ සක‍්‍රීයව, සැබෑ මහජන හිතකාමී ක්ෂුද්‍ර මූල්‍ය සේවා පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් වර්ෂ 2006 දී සමාගම් ලියාපදිංචි පනත අනුව ලාභ නොලබන ආයතනයක් ලෙස ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමය නිර්මාණය කෙරිණ. 14 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක‍්‍රියාත්මක ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමය සමග ක්ෂුද්‍ර මූල්‍ය ආයතන බැංකු හා මූල්‍ය ආයතන, රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන අංශයේ ආයතන 53ක් සහ ක්ෂේත‍්‍රයේ තාක්ෂණික සේවා සපයන ආයතන යනාදී වශයෙන් සාමාජික ආයතනයන් රැසක් එක්ව සිටියි. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රයේ 75‍% ක ප‍්‍රතිශතයක් නියෝජනය කරමින් ක්ෂේත‍්‍රයේ අභිවෘද්ධිය උදෙසා රජය මෙන්ම අනෙකුත් දෙස් විදෙස් වගකිවයුතු පාර්ශ්වයන් හා එක්වෙමින් ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමය කටයුතු කරනු ලබයි.

    (මෙය ලංකා ක්ෂුද්‍ර මූල්‍ය නියුක්තිකයන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකි. මෙම සංගමයේ සාමාජික ආයතන පහත පරිදි වේ.)