CRIB එකේ නම ඇත්නම් ණය සහන ලබා ගන්න පුළුවන් ද? – ලංකා බැංකු සභාපති ව්‍යාපාරිකයින්ට මෙසේ කියයි

    July, 6, 2020

    වෙනත් බැංකුවකින් ගෙන ඇති ණය නොගෙවා දීර්ඝ කාලයක් එහි ගැටළු ඇති වී තිබේ නම් හෝ ලංකා බැංකුවෙන් ණය ගෙන, නොගෙවා සිටීම මත ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම් සඳහන්ව ඇත්නම් හෝ එම ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ගත හැකි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට ලංකා බැංකුව සූදානම් බව එහි සභාපති නීතිඥ කාංචන රත්වත්තේ මහතා පවසයි. පසුගිය දා දකුණු‍ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා පැවැත්වූ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය. මෙම සීමාවන් විසඳා ගැනීමෙන් පසු ඕනෑම ව්‍යාපාරිකයෙකුට ලංකා බැංකුව සමඟ ගනුදෙනු කිරීමට හැකිවන බව ද රත්වත්තේ මහතා මෙහිදී අවධාරණය කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා බැංකු සභාපති නීතීඥ කාංචන රත්වත්තේ මහතා,

    “දැනට මාසෙකට දෙකකට උඩ දී මහ බැංකුවෙන් දැනුම් දුන්නා, සියයට 4 පොළියට ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙනවා කියලා. සියලුම ගනුදෙනුකරුවෝ බැංකුවට දුවගෙන ආවා මේ සියයට 4 ණය යෝජනා ක්‍රමයෙන් මුදල් ලබාගන්න. සුමාන දෙකකට පස්සේ මහ බැංකුවෙන් දැනුම් දුන්නා මේ සියයට 4 ණය යෝජනා ක්‍රමය තියෙන්නේ, කාරක ප්‍රාග්ධනය හැටියට හඳුන්වලා තියෙන, වැටුප්, කුලී සහ ජල විදුලි බිලපත් ගෙවීම සඳහා පමණයි. බැංකුවට රොක්වුණු ගනුදෙනුකරුවෝ බැංකුවත් එක්ක අමනාප වෙලා ගෙදර ගියා. මේ කාගේවත් වරදක් නෙමෙයි. අපිට තිබුණු චක්‍රලේඛයේ සීමාව තමයි මේ කියන්නේ. මේ චක්‍රලේඛය එන අවස්ථාව වෙන කොට රටේ තිබුණු වාතාවරණය මොකක්ද. කොවිඩ්, කොවිඩ් කියලා හැමෝම කතා කරනවා. මම පොඩ්ඩක් ඉතිහාසෙට යන්නන් එතනින් එහාටත්.“

    “2015 ට කලින් මේ රටේ පොළී අනුපාතය තිබුණේ සියයට 9ට. බැංකුවට ගිහිං ණයක් ගත්තා නම් සියයට 9ට ගත්තේ. සියයට 8 ට ගත්ත ණයත් තියෙනවා. ඒ අවස්ථාවේ දී තැන්පත්කරුවන්ට ඊට ආසන්න පොළියක් තමයි ගෙව්වේ. එතකොට ඒ ගාණට බැංකුවටත් ණය දෙන්න පුළුවන් වුණා. ඊට අවුරුදු දෙකකට පස්සේ මොකද වුණේ, 2016 වෙන කොට මේ පොළී අනුපාතය සියයට 15යි 16 යි. ඒකට හේතු කාරණා හොයන්න වැඩක් නැහැ. නමුත් යථාර්ථය සියයට 15 ට සියයට 16 ට ගත්ත ණය ඇති පොත්වල. ඒ සියයට 16ට ණය ගත්තාට පස්සේ, ව්‍යාපාරයක නියුතු වෙන පුද්ගලයෙකුට සියයට 15ක වැට් එකකුත් ගෙවන්න තියෙනවා. සියයට 15යි සියයට 15යි සියයට 30 යි. ව්‍යාපාරය ආරම්භ කරන්න ප්‍රථම සියයට 30ක  31 ක මුදලක් අයින් කරන්න වෙනවා.  ඊට උඩින් NBT, Withholding Tax ඒවත් තිබුණා. සියයට 32 යි 33යි. දැන් ව්‍යාපාරයක් කරන්න ඉඩ කොහෙද?“

    “ඒ වාතාවරණය යටතේ තමයි 2019 වෙන කොට සියලු ව්‍යාපාර, මහා පරිමාණ තේ කර්මාන්තකරුවෙකුගේ සිට කුඩා තේ වතු හිමියෙකු දක්වා හෝ විශාල පරිමාණ බහුදින යාත්‍රාවක් පාවිච්චි කරන කෙනෙක් සිට යතුරුපැදියකින් ගෙවල් ගාණේ ධීවර කර්මාන්තයේ යෙදෙන කෙනෙක් දක්වා, සියලු කෙනාට මේ පොළී අනුපාතය බලපෑවා. ඒ වාතාවරණය උඩ තමයි මහ බැංකුවෙන් යෝජනා ක්‍රමයක් හැටියට ගෙනාවේ ණය සහන කාලයක් දුන්නා, මේ අවුරුද්දේ දෙසැම්බර් 31 දක්වා. ඒක පෙබරවාරි මාසේ දී දැනුම් දුන්නා. මාර්තු අග දි තමයි එම යෝජනා ක්‍රමය මහ බැංකුවෙන් ක්‍රියාත්මක කළේ. මේක තමයි රජය විසින් දුන්න මුල්ම යෝජනා ක්‍රමය. මේක ඇතුළේ ඉතාම සාධනීය ගුණාංග තිබෙනවා. ඕනෑම ව්‍යාපාරයක්, තියෙන ණය සීමාව එහාට දාලා, ගෙවීම් කාලය දික් කරලා, ඕනෑම ව්‍යාපාරයක් ගොඩදාන්න මේකේ කාරණා අඩංගු වෙලා තියෙනවා.“

    “ඊට අමතරව අප්‍රේල් මාසය මුල දී මහ බැංකුව තවත් චක්‍රලේඛයක් නිකුත් කරලා අපට දැනුම් දුන්නා. අලුත් ණය යෝජනා ක්‍රමයක් හැටියට මම පෙර කියූ කාරක ප්‍රාග්ධනය, ඒකේ මම කිව්වා වගේ වැටුප්, කුලී, ජල විදුලි බිල්පත් සඳහා තමයි ඒකේ තිබුණේ. මේ දෙවෙනි එක. අවසාන වශයෙන් දැන් අලුත් චක්‍රලේඛයක් තිබෙනවා, කාරක ප්‍රාග්ධනය වෙනත් අංශවලටත් දිගු කරන්න පුළුවන්. මේවා තමයි මහ බැංකුවෙන් දුන්න යොජනා ක්‍රම. ඊට අමතරව ලංකා බැංකුව හැටියට අපිත් දැන් සූදානම් තනි ඉලක්කමකට ණය යෝජනා ක්‍රම හඳුන්වලා දෙන්න ඕනෑම ගනුදෙනුකරුවෙකුට. මෙතන දි ප්‍රශ්න දෙකක් පැන නඟිනවා.“

    “පළමුව, වෙනත් බැංකුවක ණයක් තියෙනවා නම් ලංකා බැංකුවෙන් ණයක් ගන්න පුළුවන් ද? දැන් අපිත් වැඩ කරන්නේ මහ බැංකුවේ ලබා දීලා තියෙන බලපත්‍රයක් යටතේ. මහ බැංකු බලපත්‍රයේ යම් යම් කොන්දේසි අපට පනවලා තියෙනවා. එකක් තමයි තව බැංකුවක ණයක් තිබීම නෙමෙයි ගැටළුව, වෙනත් බැංකුවක ණය නොගෙවා දීර්ඝ කාලයක් ඒකේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා නම්, පළමු දේ තමයි ඒ ප්‍රශ්නේ විසඳගෙන තමයි, අපේ බැංකුවේ දෙවෙනි අවස්ථාවට එන්න පුළුවන්. ඒ සඳහාත් අපි සාකච්ඡා කරලා බලමු, කලින් ණය තියෙන එක කොහොමද අපි විසඳගෙන අපේ බැංකුවත් එක්ක ගනුදෙනුව කරන්නේ කියලා.“

    “දෙවනුව, අපේ බැංකුවේ ගනුදෙනු කරලා තියෙනවා, අපේ බැංකුවෙත් CRIB එකට ගිහිල්ලා තිබෙනවා, අපේ බැංකුවත් සමඟ කළ ගනුදෙනුත් හොඳ නැහැ. එහෙනම් ඒ අයට මොකද කරන්නේ. ඒ සඳහාත් මේ කියපු moratorium එකේ සහ අලුත් ණය යෝජනා ක්‍රමයේ ක්‍රමවේදයන් යෝජනා කරලා තියෙනවා. දැන් මේ සීමාවල් ටික කඩා ගත්තොත් මම හිතන්නේ ඕනෑම ව්‍යාපාරිකයෙකුට ලංකා බැංකුවත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වෙයි. ඒ සඳහා එක් එක්කෙනාගේ තිබෙන ප්‍රශ්න අපි වෙනම සාකච්ඡා කරමු. පොදුවේ ගතහැකි යම් කිසි තීරණ තිබෙනවා නම් ඒ සඳහා අපි මේ සම්මන්ත්‍රණය පාවිච්චි කරමු.“