ECL සමාගම NSBM හරිත සරසවි නගරය සමගින් නැවුම් විශ්ව විද්‍යාල පරිසරයක් මෙරටට හඳුන්වා දෙයි

May, 12, 2017

මෙරට සෑම සිසුවෙකුම පාහේ අපේක්ෂා කරන්නේ, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම්වලින් හෙබි ගුණාත්මක අධ්‍යාපනයක් ලබාගැනීමට ය. ඒ අනුව යමින් ලොව උසස්ම මට්ටමේ අති නවීන පහසුකම්වලින් යුත් අංග සම්පූර්ණ සරසවියක් නිර්මාණය කරගැනීම මේ වනවිට ශ්‍රී ලංකාව තුළ යථාර්ථයක් බවට පත්ව තිබේ. ඒ NSBM හරිත සරසවිය සමඟිනි.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ අක්කර 26ක භූමියක් පුරා ඉදිව තිබෙන NSBM හරිත සරසවිය, අති නවීන පහසුකම් මෙන්ම ඉතා පුළුල් ඉගෙනුම් අවකාශයක් උදා කරදී තිබෙන්නේ ශ්‍රී ලංකාව තුළ මින් පෙර නුදුටු විරූ සරසවි අත්දැකීමකට මඟ පාදමිනි.

මෙහි ඉදිකිරීම් කටයුතු මෙහෙයවු ලැබූයේ Engineering Consultants පුද්ගලික සමාගම (ECL) විසිනි. NSBM හරිත සරසවියේ ව්‍යාපෘති උපදේශකත්වය ඉසිලූ ECL සමාගම තම වගකීම නිසි ලෙස ඉටුකරමින් පරිපූර්ණ ඉගෙනුම් පරිසරයක් මෙන්ම සමාජ වටපිටාවක් හරිත සරසවිය තුළ ගොඩනැංවීමට කටයුතු කර තිබේ.

දශක හතරකට වැඩි අත්දැකීම් සමගින් සංකල්පීයමය අදියරේ සිට අවසානය තෙක් මෙරට ප්‍රධාන පෙළේ සංකීර්ණ ව්‍යාපෘති ගණනාවකට දායකත්වය ලබාදුන් ECL සමාගම, දේශීය ආයතනයක් වශයෙන් සුවිශේෂී වාස්තු විද්‍යාත්මක පරිසරයන් නිර්මාණය කිරීමෙහිලා තම පළපුරුද්දත් දැනුමත් කැපවීමත් හොඳින් පෙන්නුම් කර තිබේ.

NSBM හරිත සරසවිය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පූර්ණ සැලසුම්කරණය, සියලු වාස්තු විද්‍යාත්මක හා ආකෘතිමය නිර්මාණ, ඉදිකිරීම් සුපරීක්ෂණ හා ව්‍යාපෘති කළමනාකරණය ඇතුළු සෑම අංශයක්ම ECL සමාගම අතින් සිදුවිය. තව ද විදුලිය, ජල සම්පාදනය, අපජල කළමනාකරණය, අභ්‍යන්තර මාර්ග පද්ධතිය, භූ දර්ශන සැකසුම්, ගෘහභාණ්ඩ සැපයීම, විදුලි ආලෝකකරණය, ජාලකරණ පද්ධති හා විශ්ව විද්‍යාලයීය කළමනාකරණ තොරතුරු පද්ධතියක් ආදී පහසුකම් ද විශේෂ අවධානයකින් නිමකෙරිණි.

“අපි තදින්ම විශ්වාස කරන දෙයක් තමයි අප විසින් ලබාදෙන සේවාවන් හා දැනුම ලංකාවේ අන් කිසිදු සමාගමකට ලබාදිය නොහැකි බව. NSBM ඉදිකිරීම්වල සෑම අංගයක්ම ඉදිකර තිබෙන්නේ ප්‍රධාන සැලසුම යටතේ ඉගෙනුම් අවකාශයට සම්බන්ධ වන අයුරිනුයි. රට තුළ වෙනත් විශ්ව විද්‍යාල පිහිටුවීමේදී අපේ මෙම හරිත සරසවිය නිර්ණායකයක් බවට පත්ව තිබීම ඇත්තෙන්ම ආඩම්බරයට කරුණක්” යනුවෙන් MG ව්‍යාපාර සමූහයේ සභාපති රංජිත් ගුණරත්න මහතා පැවසීය.

මෙම වාස්තු විද්‍යාත්මක සාර්ථකත්වය අත් කරගනු ලැබුවේ, ECL හි නිර්මාණ සැලසුම් කණ්ඩායම විසිනි. නව්‍ය ඉංජිනේරු නිර්මාණ බිහිකිරීමේදී උපයෝගී වන ක්ෂේත්‍ර කිහිපයක් පුරා පැතිරුණු දැනුමක් එම කණ්ඩායම සතුය.

සිසුන් හා අධ්‍යයන පීඨ අතර අඛණ්ඩ සබඳතාව තහවුරු කරමින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සෑම ගොඩනැගිල්ලක්ම එකිනෙකට රූපමය අයුරින් සම්බන්ධ වේ. ව්‍යාපාර කළමනාකරණ, තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු යන පීඨ තුන මෙන්ම විශ්ව විද්‍යාල පරිපාලන ගොඩනැගිලි‍, පුස්තකාලය, ශ්‍රවණාගාරය, ශිෂ්‍ය මධ්‍යස්ථානය ආදියද බොහෝ ඉඩපහසුකම් සහිතව හා සුවපහසුවට නිර්මාණය කර ඇති අතර සිසුන්ට එක්ව හිඳිමින් සාකච්ඡා කිරීමට අදහස් හුවමාරු කරගැනීමට හා සාමූහික ඉගෙනුමට කදිම අවස්ථාවක් උදා කර දී ඇත.

එමෙන්ම භූ දර්ශනය හා ගොඩනැගිලි අපූර්ව සංකලනයකින් යුතුව ඉදිකිරීමට ද ECL සමාගම සමත්ව තිබීම කැපීපෙනේ. විවෘත ප්‍රදේශ අලංකාර භූ දර්ශනයන්ගෙන් යුතුව නිමවා තිබෙන්නේ ස්වභාවිකත්වයට වැඩි ප්‍රමුඛතාවක් හිමිකරදෙමිනි.

විශ්ව විද්‍යාලය ඉදිකර ඇති භූමිය භාගය සතුව ඉතා ඉහළ සෞන්දර්යාත්මක පසුබිමක් පවතී. ස්වභාවික ගල්පව්, දොළ පහරවල් විශ්ව විද්‍යාල භූමිය වඩාත් සුන්දර කර තිබේ.

NSBM සරසවිය තම සංවර්ධන සැලැස්ම සඳහා හරිත ඉදිකිරීම් තාක්ෂණය හා තිරසාර සංකල්ප ද යොදාගෙන ඇත. ස්වභාවික වායු සැපයුම, සූර්යාලෝකය හා බාහිර සුවපහසුව මෙන්ම වගා කටයුතු සඳහා ජලය සපයන අපජල කළමනාකරණ ඒකකය, සූර්ය බලශක්ති භාවිතය, LED විදුලි ආලෝකකරණය, උෂ්ණත්වය පාලනය කිරීමට දායක වන හරිත ගොඩනැගිලි පියැසි හා හරිත තිර ආදිය එසේ තිරසාර නිර්මාණ සැලසුම් භාවිතයට නිදසුන් වේ.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රධාන කොන්ත්‍රාත් සහකරු වූ මෙරට ප්‍රමුඛතම ඉදිරිකිරීම් හා ඉංජිනේරු සේවා ආයතනය වන මාගා ඉංජිනියරින් සමාගම වෙත ඉදිකිරීම් අධීක්ෂණ දැනුම ද ECL සමාගම සැපයීය. “අප හා මාගා ආයතනය අතර තිබෙන්නේ ශක්තිමක් සංකලනයක්. එකිනෙකාගේ හැකියාවන් පිළිබඳ අපි හොඳින් අවබෝධ කරගෙන සිටිනවා. ඒ නිසා මෙවැනි ව්‍යාපෘති ලෝකයේ ඕනෑම තැනකදී ක්‍රියාවට නංවන්න අපට දැන් පුළුවන්”. යනුවෙන් ECLහි ප්‍රධාන විධායක නිලධාරී සාලිය ලේනදූව මහතා පැවසීය.

මෙම සුවිසල් ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීමේදීත් අධීක්ෂණ කටයුතු කිරීමේදීත් ECL සමාගම සතු සුවිශේෂී හා පළපුරුදු ව්‍යාපෘති කළමනාකරණ කුසලතා අතිශය ප්‍රයෝජනවත් විය. වැඩකටයුතු නිසි පරිදි, කලට වේලාවට සිදුවීම සහතික කරමින් ECL සමාගම 200කට වැඩි උප කොන්ත්‍රාත්කරුවන් පිරිසක් හා සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවීය.

වැදගත් හා සුවිශේෂී බහු විෂයීය ආකෘති සමගින් සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල ගොඩනැගිලි පරිවර්තනයකට බඳුන් කිරීමට NSBM සරසවියේ ඉදිකිරීම් තුළින් හැකිවිය.

මේ සියලු නිර්මාණ සැලසුම් සම්බන්ධීකරණ කටයුතු හා අධීක්ෂණ කටයුතු ECL සමාගම ඉදිකිරීම් සිදුකර තිබෙන්නේ වාස්තු විද්‍යාවත්, ස්වභාව සෞන්දර්යය, ගෘහ භාණ්ඩ, වෙනත් අංගෝපාංග, විදුලි ආලෝකකරණය ඇතුළු සියල්ලත් මනාව සුසංයෝග වන පරිද්දෙනි.

ප්‍රධාන ගොඩනැගිල්ල ඊටම අනන්‍ය වූ වාස්තු විද්‍යාත්මක ස්වරූපයක් පිළිබිඹු කරතිබේ. කුරුලු ඇසින් සමස්ත විශ්ව විද්‍යාල පරිසරයම නැරඹිය හැකි සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ඉදිකිරීමක් වන එම ගොඩනැගිල්ල සැබවින්ම දුටුවන් මවිත කරවන සුලු ය.

පුස්තකාලය විවිධ විෂය ක්ෂේත්‍ර ගණනාවකට අයත් කෘති දහස් ගණනකින් සැදුම්ලත් ඊට අත්‍යවශ්‍ය සාධකයක් වන නිස්කලංක බවින් ද යුතුව නිර්මාණය කර තිබේ. සිසුන්ගේ සුහද සාකච්ඡා සඳහා වෙනම ආලින්දයක් ද ඊට එක්කර තිබීම විශේෂත්වයකි.

අති නවීන පහසුකම්වලින් සමන්විත ශ්‍රවණාගාර ඉහළම තත්ත්වයේ ශ්‍රව්‍ය හා ආලෝක පද්ධතිවලින් යුතු අතර එය ද උසස් ඉගෙනුම් අත්දැකීමක් සිසුන් වෙත සමීප කරවීමට සමත් ය.

විශ්ව විද්‍යාලය සතු නව්‍ය නිර්මාණ සැලසුමක් වන්නේ විවෘත රංග පීඨය ය. රංගනය, විශ්‍රාන්ති ක්‍රියාකාරකම් මෙන්ම දේශන සැසි සඳහා පවා එය භාවිත කෙරේ. එම සියලු ක්‍රියාකාරකම්වලදී ඉතා උසස් මට්ටමේ ප්‍රේක්ෂකාගාර අත්දැකීමක් ඉන් හිමිවේ.

සිසුන්ට තම දේශනවලදී සක්‍රීය සහභාගීත්වයක් ලබාදිය හැකි සහ අවධානය නිවැරදිව තබාගත හැකි අයුරින් දේශනා ශාලා නිමවා තිබීම ද කැපීපෙනේ. නවීන තාක්ෂණය ඇසුරින් තම දේශන ඉදිරිපත්කිරීමට ද ආචාර්යවරුන්ට ඉඩ සලසා දී ඇත. සිසුන්ට මෙන්ම ආචාර්ය මණ්ඩලයටත් නිවාස පහසුකම් සපයා දී ඇත්තේ නේවාසික අත්දැකීමක් සමීප කරවමිනි.

NSBM හරිත සරසවිය ගොඩනැගීමට දැක්වූ දායකත්වය තුළින් සැලසුම්කරණයේ සිට අවකාශමය අභියෝග ජයගනිමින්, වර්තමානය මෙන්ම අනාගතය ද අවබෝධ කරගනිමින් කටයුතු කිරීමට තමන් සතු හැකියාව ECL පුද්ගලික සමාගම මෙසේ ප්‍රකට කර තිබේ.