EPF සේවාවන් අඛණ්ඩව ලබා දීමට විධිවිධාන සලසයි

    October, 29, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව මගින් සිය පාර්ශ්වකරුවන් වෙත අඛණ්ඩ ව සේ.අ.අ. ආශ්‍රිත සේවාවන් ලබාදීම සදහා සකසා ඇති විධිවිධාන

    කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පවතින දුෂ්කරතා මධ්‍යයේ සිය සේවාවන් අඛණ්ඩ ව සැපයීම සඳහා යොදා ඇති විධිවිධාන පිළිබඳ ව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සේවක අර්ථසාධක අරමුදල් (EPF) දෙපාර්තමේන්තුව සිය පාර්ශ්වකරුවන් දැනුම්වත් කිරීමට අපේක්ෂා කරයි. ප්‍රතිලාභ ගෙවීම්, දායක මුදල් හා දායක මුදල් විස්තර වාර්තා රැස්කිරීම, වීසා අවැසිතාවන් සඳහා ශේෂ තහවුරු ප්‍රකාශ හා දායක මුදල් විස්තර වාර්තා නිකුත් කිරීම සහ නාම හා ගිණුම් සංශෝධන සේවාවන් පහත සඳහන් පරිදි සපයනු ලැබේ.

    1.   ප්‍රතිලාභ ගෙවීම්

    ප්‍රතිලාභ ගෙවීම් සඳහා කම්කරු කොමසාරිස්වරයා විසින් එවනු ලබන සියලු ම තීරණ ලිපිවලට, නිරවද්‍යතාව මත ප්‍රමාදයකින් තොර ව ගෙවීම් කරනු ලැබේ.

    2.   දායක මුදල් රැස්කිරීම  සහ දායක මුදල් විස්තර වාර්තා ලබා ගැනීම

    ‘සී’ වාර්තාවේ සඳහන් කර ඇති යොමු අංකය සඳහන් කර දිවයින පුරා පිහිටි     ඕනෑ ම මහජන බැංකු ශාඛාවකින් මාසික සේ.අ.අ. දායක මුදල් ගෙවීමේ පහසුකම් සේවායෝජකයන්ට සලසා ඇත. දැනටමත් දායක මුදල් හා දායක මුදල් විස්තර වාර්තා (‘සී’ වාර්තා) විද්‍යුත් මාධ්‍යයෙන් යොමු කිරීමට ලියාපදිංචි වී ඇති සේවායෝජකයන්ට අඛණ්ඩ ව එම ක්‍රමය භාවිත කළ හැකි අතර අනෙකුත් සේවායෝජකයන්ට සේ.අ.අ. දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇති මංගත දායක මුදල් ගෙවීමේ සේවාවන් සඳහා ලියාපදිංචි වන ලෙස උනන්දු කරනු ලැබේ. ඊට අමතර ව දායක මුදල්, චෙක්පත් මගින් සේ.අ.අ. දෙපාර්තමේන්තුවට භාරදීමට පැමිණෙන සේවායෝජකයන්ට චෙක්පත් හා අදාළ දායක මුදල් විස්තර වාර්තා කොළඹ 01, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ අංක 13 දරන ස්ථානයේ පිහිටි ලොයිඩ්ස් ගොඩනැගිල්ලෙහි පිවිසුමෙහි තබා ඇති රැස්කිරීමේ පෙට්ටියට බහාලීමට පහසුකම් සලසා ඇත.

    3.   සාමාජික නම් සහ ගිණුම් සංශෝධන කටයුතු

    කොළඹ 01, ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ අංක 13 දරන ස්ථානයේ පිහිටි ලොයිඩ්ස් ගොඩනැගිල්ලෙහි පිවිසුමෙහි තබා ඇති රැස්කිරීමේ පෙට්ටියට සාමාජික නම් සහ ගිණුම් සංශෝධනයන්ට  අදාළ සියලුම ලියකියවිලි බහාලන ලෙස  හෝ ළඟ ම පිහිටි මහ බැංකු ප්‍රාදේශීය කාර්යාලයකට ඉදිරිපත් කරන ලෙස හෝ තැපෑලෙන් එවන ලෙස සාමාජිකයින්ගෙන් හා සේවායෝජකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ. සාමාජික නම් සහ ගිණුම් සංශෝධන ඉල්ලීම් සම්පූර්ණ කිරීම සම්බන්ධයෙන් සේවක අර්ථසාධක අරමුදල්  දෙපාර්තමේන්තුව සාමාජිකයින්ට සහ සේවායෝජකයන්ට එම ඉල්ලීම් පිළිබඳ ව දන්වනු ලැබේ.

    4.   සාමාජික ගිණුම් ශේෂ තහවුරු කිරීම සහ දායක මුදල් විස්තර වාර්තා නිකුත් කිරීම

    වීසා අයදුම්පත් සඳහා වන සාමාජික ගිණුම් ශේෂ තහවුරු කිරීම් සහ දායක මුදල් විස්තර වාර්තා විද්‍යුත් තැපෑලෙන් අවශ්‍ය සියලු ම ලේඛනවල පිටපත් සමඟ විධිමත් ඉල්ලීමක් සේ.අ.අ. දෙපාර්තමේන්තුව වෙත එවීමෙන් ලබා ගත හැකි ය.

    ඉහත විධිවිධාන පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර සේවක අර්ථසාධක අරමුදල්  දෙපාර්තමේන්තුවෙහි වෙබ් අඩවිය www.epf.lk වෙත පිවිසෙන්න.