Exclusive- ආණ්ඩුවේ කණ්ඩායමක් සහ එමිරේට්ස් සභාපති ටිම් ක්ලාර්ක් ඩුබායිහිදී විශේෂ සාකච්ඡාවක

May, 14, 2015

ශ්‍රී ලංකාවේ ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීමට අදාළ ප්‍රතිපත්තියක් සකස් කිරීම වෙනුවෙන් උපදෙස් ලබාගැනීමට එමිරේට්ස් ගුවන් සමාගමේ වත්මන් සභාපතිවරයා මෙන්ම ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ටිම් ක්ලාර්ක් මහතාව මෙරට සිවිල් ගුවන් සේවා අංශයේ උසස් නිළධාරීන් පිරිසක් පසුගියදා ඩුබායිහිදී මුණගැසී සාකච්ඡා කළබව ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

මෙම සාකච්ඡාවේ අරමුණ වී තිබෙන්නේ මෙරට ගුවන් සේවා අංශය සහ ඒ ආශ්‍රිත කර්මාන්ත දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තියක් සකස් කිරීමට ගුවන් සේවා අංශය පිළිබඳ හසල දැනුමක් ඇති ටිම් ක්ලාර්ක් මහතාගේ උපදෙස් ලබාගැනීමයි.

මෙම සාකච්ඡාවෙන් පසුව කොළඹට පැමිණ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට ටිම් ක්ලාර්ක් මහතා එකඟ වී ඇතැයි අප වෙත වැඩිදුරටත් අනාවරණය වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම එමිරේට්ස් ගුවන් සමාගම විසින් කළමනාකරණය කළ අවදියේදී 2008 වසර දක්වා ශ්‍රී ලංකන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේ ටිම් ක්ලාර්ක් මහතායි.

ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි.

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් 2014 වසරේදී රුපියල් බිලියන 29 ක අති දැවැන්ත අලාභයක් වාර්තා කළ අතර එමිරේට්ස් සමග තිබූ කළමනාකරණ ගිවිසුම 2008 වසරේදී අවලංගු කිරීමෙන් පසුව මේ දක්වා ලබා තිබෙන අලාභය රුපියල් බිලියන 122 කි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2014 වාර්තාවේ දැක්වෙන්නේ ගුවන් සමාගමේ ආදායම් පසුගිය වසරේදී සියයට 5.5 කින් රුපියල් බිලියන 115.5 ක් දක්වා වර්ධනය වුවත් වියදම් රුපියල් බිලියන 144.4 ක් දක්වා වඩාත් වර්ධනය වී තිබෙන බවයි.