ikman.lk වෙබ් අඩවිය තවත් අලුත් වෙයි

June, 30, 2017

මෙරට විශාලත ම වෙළඳපලවන ikman.lk, ගැනුම්කරුවන්ට මෙන් ම විකුණුම්කරුවන්ට ද අසමසම භාවිත අත්දැකීමක් සහ පහසුවක් හිමිකර දෙමින් තවත් අගනා විශේෂාංග රැසක් සිය වෙබ් අඩවියට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය.

ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර සන්නිවේදනය වඩාත් පහසු කිරීම සඳහා අලුතින් ම හඳුන්වා දෙන ලද 'චැට්' පහසුකම ඒ අතර කැපී පෙනෙයි. ලැයිස්තුගත පාරිභෝගිකයන්ට සහ සාමාජිකත්වය සඳහා ලියාපදිංචි වී ඇති සාමාජිකයන් හට මෙම චැට් පහසුකම භාවිත කළ හැකිය.

තව ද ලියාපදිංචි සාමාජිකයන් සඳහා හඳුන්වා දී ඇති 'Buyer Analytics' නමැති විශ්ලේෂණ පහසුකම මගින් සිය පාරිභෝගිකයන්ගේ හැසිරීම පිළිබඳ වඩාත් නිරවද්‍ය දත්ත ලබා ගැනීමට විකුණුම්කරුවන් හට හැකි වේ. සාමාජික පිටුවට ඇතුළත් වී ඇති අවස්ථා ගණන, සාමාජික පිටුවේ ප්‍රචාරයවන එක් එක් දැන්වීම නරඹන ලද අවස්ථා ගණන, කිසියම් සාමාජිකයෙකු වෙත ළඟා වූ ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව  සහ සාමාජික කවුළුවේ නරඹන ලද දැන්වීම් ප්‍රමාණය ආදී වැදගත් තොරතුරු රැසක් මේ හරහා සාමාජිකයන් හට පිරිනැමේ. අලෙවියට තබා ඇති කිසියම් නිෂ්පාදනයක් මිලදී ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇති ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව ඇතුළු වැඩිදුර තොරතුරු රැසක් ද මෙම සේවාව හරහා ලබා දීම විශේෂත්වයකි.

ටොප් ඇඩ්ස් සහ බම්ප් අප්ස් ආදී ප්‍රිමියම් ලැයිස්තුවට අයත් ගනුදෙනු සඳහා වඩාත් සරලව සහ ආරක්ෂිතව සිය ගෙවීම් කටයුතු සිදුකර ගැනීම සඳහා pay.ikman.lk මධ්‍යගත ගෙවීම් ද්වාරය වෙබ් අඩවියට හඳුන්වා දී ඇත.

අන්තර්ජාල දැන්වීම් සහතික කිරීම සඳහා ikman.lk, කෙටි පණිවිඩ දැනුම්දීමේ ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක කරයි. දැන්වීම වෙබ් අඩවියේ පළ වූ වහාම දැන්වීම පළ කළ පුද්ගලයාගේ ජංගම දුරකථනයට අංක හතරකින් යුතු කේතයක් කෙටි පණිවිඩයක් ලෙස යොමු කෙරේ. කේතය ලැබුණු වහාම විනාඩි 10ක් තුළ එම කේතය ඇතුළත් කළ යුතු අතර, එසේ කිරීමට නොහැකි වුවහොත් දැන්වීම අවලංගු වේ. ගැනුම්කරුවන්ට මුළුමනින් ම සත්‍ය දැන්වීම් පමණක් දර්ශනය කිරීමටත්, ව්‍යාජ දැන්වීම් වෙබ් අඩවියේ පළ නොකිරීමටත් ikman.lk මෙම ක්‍රමවේදය හඳුන්වා දී ඇත.

සරල සහ භාවිතයට පහසු 'ටූල් ටිප්ස්' ද දැන් සියලු ikman.lk භාවිත කරන්නන් හට ලබා ගත හැකිය. දැන්වීමක් බාධාවකින් තොරව පළ කිරීම සඳහා දැන්වීම්කරුට උපකාර කිරීමට සරල පියවර සහ උපදෙස් මාර්ගෝපදේශයක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. දැන්වීම පිළිබඳ විස්තර, ඡායාරූප ඇතුළත් කළ හැකි හොඳම ආනතිය මෙන් ම කළ යුතු සහ නොකළ යුතු දෑ සහ වෙනත් ප්‍රයෝජනවත් උපදෙස් රැසක් මෙම අංශය යටතේ දැන්වීම්කරුට හිමිකර දී තිබේ.

ikman.lk ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම මෙරට විශාලත ම වෙළඳපල සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමේ අවස්ථාව මෙරට පාරිභෝගිකයන්ට ලබා දෙන අතර, ගැනුම්කරුගේ භූගෝලීය සීමාව තුළ ඇති දැන්වීම්වලට ප්‍රමුඛතාව ලබා දීම සඳහා 'find my location' නම් අමතර සේවාවක් ද එමගින් පිරිනමයි.

"මෙරට විශාලත ම වෙළඳපලට ප්‍රවේශ වීමේ අවස්ථාව මෙරට ජනතාවට හිමිකර දීමට අමතරව, ඔවුන්ගේ ගනුදෙනු වඩාත් පහසු සහ ආරක්ෂාකාරී ලෙස ඉටුකර දෙමින් තෘප්තිමත් සේවාවක් ලබා දීම අපගේ අරමුණයි" යනුවෙන් ikman.lk අලෙවිකරණ සහ විකුණුම් අධ්‍යක්ෂ ස්ටෙෆාන් බීක්මේයර් මහතා සඳහන් කළේය.