IMF සිව්වෙනි සමාලෝචනයේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය මෙම සතිය තුළ දී

    April, 24, 2025

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය අරමුදල් පහසුකම් වැඩසටහන යටතේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන හතරවන සමාලෝචනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට ලඟාවීමට, මෙම සතිය ඇතුළත හැකියාව පවතින බව කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. අද (24) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජනපදය විසින් මේ වන විට ලෝකයටම පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය හරහා නිර්මාණය විය හැකි නව ලෝක ආර්ථික තත්ත්වයන් පිළිබවද සැලකිල්ට භාජනය කරමින් පවතින බවයි.

    "අපි හතරවෙනි සමාලෝචනය සම්බන්ධයෙන් අවශ්‍ය මූලික සාකච්ඡා ටික පවත්තමින් තියෙනවා. මේ සතියෙදි ඒ මූලික සාකච්ඡාවන් අවසාන වෙනවා. ඒ මූලික සාකච්ඡා ඉතාමත්ම සාර්ථක මට්ටමක තියෙනවා. වොෂින්ටන් නුවර සාකච්ඡා පැවැත්වෙන්නේ. අපේ නියෝජිත කණ්ඩායම එහේ ගිහින් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ වැඩසටහන යටතේ ඒ නිර්ණායකවලට ළඟා වෙන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒ වගේම මේ වන විට පවතින අමෙරිකානු එක්සත් ජනපදය විසින් ලෝකයටම පනවලා තියන තීරු බදු ප්‍රතිපත්තිය නිසා ඇති වෙච්ච අලුත් ලෝක ආර්ථික තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ තත්ත්වයනුත් සැලකිල්ට භාජනය කරමින් තියනවා. ඒ් වගේම අපිට ඉතාමත් සුභවාදී බලාපොරොත්තුවක් තියනවා මේ සතිය ඇතුළතදීම, හතරවෙනි කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට අපිට ලඟාවෙන්න පුළුවන් වෙයි කියලා."