Jetwing Symphony මූලික මහජන කොටස් නිකුතුව 14 දා ඇරඹෙයි

    December, 7, 2017

    Jetwing Symphony Limited (JSL) සමාගම විසින් රු. මිලියන 753ත් 904ත් අතර ප්‍රමාණයක අරමුදලක් සම්පාදනය කර ගැනීම වෙනුවෙන් සිදුකරනු ලබන මූලික මහජන කොටස් නිකුතුව 2017ක් වූ දෙසැම්බර් මස 14 වැනි දින ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී.

    මේ අනුව, ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 50, 218, 856 ක් කොටසක් රු. 15.00, රු. 16.00, රු. 17.00 සහ රු. 18.00 ලෙස නිකුත් කිරීමට JSL සමාගම කටයුතු කරයි. මෙම කොටස් නිකුතුවේ කළමනාකරුවන් වන්නේ Capital Alliance Partners Limited (CAL) සමාගමයි.

    2007 වසරේදී ආරම්භ කෙරුණු JSL සමාගම, ඉදිරියේදී Jetwing සමූහයේ ආයෝජන අංශය ලෙස කටයුතු කරනු ඇත. Jetwing Yala (යාල), Jetwing Kaduruketha (වැල්ලවාය), Jetwing Lake (දඹුල්ල), Jetwing Surf (පොතුවිල්) සහ Jetwing Colombo Seven (කොළඹ) එම සමාගමේ ආයෝජන අතර වෙයි. Jetwing Kandy Gallery නමින් මහනුවර ප්‍රදේශයේ නව හෝටල් පරිශ්‍රයක් ඉදිකිරිම සහ සමූහයේ යම් පරිශ්‍රවල හිමිකරු ප්‍රාග්ධන පියවීම් ප්‍රතිතුලනය කිරීම සඳහා මෙම කොටස් නිකුතුවෙන් ලැබෙන අරමුදල් යෙදවෙනු ඇත.

    JSL සමාගම, වේගයෙන් වර්ධනයවන මෙරට සංචාරක කර්මාන්තය සඳහා පරිසර හිතකාමී සහ දේශීය අත්දැකීමක් සංචාරකයන් වෙනුවෙන් පිරිනමන හෝටල් පරිශ්‍ර රැසක් දායාදකර ඇත. නවත ම සංචාරක ඉල්ලුම මගින් උපරිම ඵල නෙලාගැනීම සඳහා එම සමාගමේ හෝටල් දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රමෝපායික වශයෙන් ස්ථාපනය කර ඇති අතර, එමගින් සංචාරකයන් හට පරිපූර්ණ හා සැබෑ ශ්‍රී ලාංකේය අත්දැකීමක් උරුමකර දීමට එම සමාගම කටයුතුකර ඇත.

    "Jetwing හෝටල් මෙරට සංචාරක කර්මාන්තයට ඇතුළත් වන්නේ, 1970 දශකයේ මුල් අවදියේදී හබර්ට් කුරේ නම්වන මගේ පියා තුළ වූ ශ්‍රී ලංකාව සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ දැක්මට අනුවය. ලෝක මට්ටමේ සේවාවක් ලබාදීම සහ වගකීම්සහගත, තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන් කැපවීම යන අපගේ මූලික හරයන් සැමවිටම සාක්ෂාත් කර ගැනීම සඳහා අප පාරිසරික සහ තිරසර වැඩසටහන් හා ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරනවා. අපගේ කාබන් විමෝචනය අවමකිරීම, තරුණ සහ ප්‍රජා සංවර්ධනය සඳහා විවිධ ව්‍යාපෘති දියත්කිරීම එම ක්‍රියාමාර්ග අතර කැපී පෙනෙනවා. අප දියත් කළ තරුණ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා PATA Grand සම්මාන කිහිපයක් ද හිමිවුණා. අපගේ මෙහෙයුම් කටයුතු පුළුල් කරනා අතරතුර මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට ද හැකිවීම පිළිබඳ අප බෙහෙවින් ආඩම්බර වනවා. අපගේ ඉදිරි ගමන්මග තුළ මෙරට තුළ තවත් ව්‍යාපෘති රැසක් දියත් කිරීමටත්, ආසියානු ආර්ථික කේන්ද්‍රස්ථානවලට පිවිසීමටත් අප සැලසුම්කර තිබෙනවා. JSL සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව ප්‍රකාශයට පත්කිරීම Jetwing පවුලට මෙන්ම සමාගමේ සහ මෙරට සත්කාරක ක්ෂේත්‍රයේ ද සුවිශේෂී සංධිස්ථානයක් වනවා" යනුවෙන් Jetwing හෝටල් සභාපති හිරාන් කුරේ මහතා සඳහන් කළේය.

    JSL සමාගම යටතේ Jetwing හෝටල් ජාලය මෙරට ප්‍රථම කෘෂි පාරිසරික සුඛෝපභෝගී රෙසොර්ට් ව්‍යාපෘතියවන Jetwing Kaduruketha ව්‍යාපෘතිය දියත් කළේය. අක්කර පනහක කුඹුරු යායක් ආශ්‍රිතව පිහිටා ඇති මෙය, මෙරට ප්‍රථම කෘෂි පාරිසරික සුඛෝපභෝගී රෙසොර්ට් ව්‍යාපෘතිය ලෙස ඉතිහාසයට එක්වෙයි. ගොවි පවුල් 31ක් එම කුඹුරු යාය මගින් බත සරිකර ගන්නා අතර අතිරික්තය ඔවුහු ප්‍රදේශයේ වෙළඳපලට අලෙවි කරමින් ආදායම් උපයා ගනිති. Jetwing Yala සහ Jetwing Lake මෙරට හෝටල් ක්ෂේත්‍රයේ විශාලත ම සූර්ය බල උද්‍යානයට හිමිකම් කියන අතර, එමගින් උත්පාදනය කෙරෙන කිලෝවොට් 300ක ධාරිතාව මගින් හෝටල්වල දෛනික විදුලි පරිභෝජනයෙන් 40%ක ප්‍රමාණයක් සපුරාලයි. මීට අමතරව, Jetwing Surf පසුගියදා පැවති Property Guru - Asia Property Awards 2017 සම්මාන උළලේදී 'විශිෂ්ටත ම හෝටල් ගෘහනිර්මාණ සැලසුම' ලෙස සම්මානයට පත්‍ර විය. එය මෙරට නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රථම පාරිසරික-සුඛෝපභෝගී සර්ෆ් රෙසොර්ට් ව්‍යාපෘතිය වීම ද විශේෂත්වයකි.

    JSL සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව පිළිබඳ අදහස් පළ කරමින් Capital Alliance Partners Limited සමාගමේ ගෝලීය වෙළඳපල හා ආයෝජන බැංකුකරණ අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ දේශාන් පුෂ්පරාජා මහතා සඳහන් කළේ, අතිශය සාර්ථක පවුලේ ව්‍යාපාරයක්වන Jetwing සමග සම්බන්ධවන ලෙස තමන් මහජනතාවට ආරාධනාකර සිටින බවය. "Jetwing පවුල සහ එහි කළමනාකරණ කණ්ඩායම හෝටල් කළමනාකරණය, අත්දැකීම් සංචාරක කර්මාන්තය ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක විහිදුනු ක්ෂේත්‍ර රැසක් වෙනුවෙන් සිය ආයෝජන සිදු කරනවා. JSL සමාගමේ ප්‍රථම හෝටල් පරිශ්‍රයවන Jetwing Yala විවෘත කර මාස 18ක් වැනි කාලයක් තුළ ලාභ ලබන හෝටල් පරිශ්‍රයක් බවට පත්වීම Jetwing සතු එම පුළුල් අත්දැකීම් සම්භාරයට මැනවින් සාක්ෂ්‍ය දරනවා. නිශ්චිත ක්ෂේත්‍රයක මෙහෙයුම් කටයුතු සිදු කිරීමේ Jetwing දැක්ම අනුව එකම අරමුණක් ඉලක්කකර ගත් ආයෝජකයන්ගේ ආකර්ෂණය ඔවුන් වෙත හිමිවනු ඇති බව අපගේ විශ්වාසයයි" යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    පසුගිය වසරේ මුල්‍ය වර්ෂයේදී උපයාගත් රු. මිලියන 508.4 සමග සැසඳීමේදී මේ වසරේදී රු. මිලියන 734.7ක එනම්, 44.5%ක ආදායම් වර්ධනයක් අත්පත් කර ගැනීමට Jetwing Symphony සමාගම සමත් විය.

    කොටස් නිකුතුව පිළිබඳ වැඩිදුර තොරතුරු www.cse.lk කොටස් වෙළඳපල වෙබ් අඩවියෙන් හෝ Jetwing Symphony වෙබ් අඩවියෙන් www.jetwingsymphony.com ලබාගත හැකිය.