LANKAQR භාවිතා කළ හැකි මෙරට පළමු ඇන්ඩ්‍රොයිඞ් පොයින්ට් ඔෆ් සේල් උපකරණය PAYable සමග කොමර්ෂල් බැංකුව එළිදක්වයි

    September, 7, 2020

    කොමර්ෂල් බැංකුව විසින් LANKAQR භාවිතා කළ හැකි ඇන්ඩ්‍රොයිඞ් මෙහෙයුම් පද්ධතිය පදනම් කරගත් මෙරට පළමු පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණය PAYable (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ. මෙරට වෙළඳ ස්ථාන වලදී මුදල් නොවන ගනුදෙනු තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වී ඇත.

    ශ‍්‍රී ලංකාවේ වඩාත්ම දියුණුකළ ඇන්ඩ්‍රොයිඞ් පොයින්ට් ඔෆ් සේල් උපකරණය ලෙසින් සැලකෙන මෙය තුළින් ඉතාමත් සුරක්ෂිත ලෙස VISA, Mastercard, UnionPay, LankaPay සහ JCB තුළින් ගනුදෙනු සැකසිය හැකිවේ. එසේම, මෙම උපකරණය මගින් LANKAQR යටතේ QR කේතය පදනම් කරගත් වොලට් පේමන්ට්ස් කළ හැකි බවද පාරිභෝගිකයින්ට ඉතාමත් පහසු සහ ඉතාමත් ඉක්මන් ගෙවීමේ අත්දැකීමක් ලබාදෙන බව බැංකුව සඳහන් කරයි.

    මෙම ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් පොයින්ට් ඔෆ් සේල් උපකරණයට Mag-stripe, EMV සහ Chip reader තුළින් ගනුදෙනු සැකසිය හැකිවේ. එසේම, මෙම උපකරණයට Near Field Communication (NFC) ක‍්‍රමයට සහ QR කේත ඉතාමත් වේගයෙන් ස්කෑන් කර ගනුදෙනු කිරීමේ හැකියාවද ඇත. මේ නිසා, පාරිභෝගිකයින්ට ගැලපෙන ඉතාමත් වේගවත් සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීමට මේ තුළින් වෙළෙඳුන්ට අවස්ථාව හිමිවේ.

    මෙහිදී, PAYable විසඳුම භාවිතා කරන වෙළෙඳුන්ට සියළුම ගෙවීම් පිළිගන්නා ක‍්‍රමවේදයන් වෙනුවෙන් ඉතාමත් පහසුවෙන් එක් පියවීමක් කිරීමට අවස්ථාව හිමිවන අතර මෙම විසඳුම මුදල් ඇයකැමි ස්ථාන සමගද ඒකාබද්ධ කරමින් එක් වරක් swipe කිරීම තුළින් ඉතාමත් වේගයෙන් ගනුදෙනුව පියවීම සඳහා පහසුකම් සැලසිය හැකිවේ. PAYable විසඳුම මගින් ගනුදෙනු සරල කරන අතර පියවර තුනකින් ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට මෙමගින් අවස්ථාව ලබාදෙයි. මෙම විසඳුම ත්‍රෛභාෂා භාවිත මුහුණතකින්ද සමන්විත වන නිසා එය මෙරට භාෂා කතා කරන  ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතා කළ හැකිවේ.

    මෙම උපකරණය සහ එය වෙළඳපොළේ තිබෙන සාම්ප‍්‍රදායික උපකරණයකින් වෙනස්වන ආකාරය පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ටර්මිනල් මුදල් නොවන ගෙවීම් පිළිගන්නා උපකරණවල නවතම අදියරයි. ඉතාමත් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු මෙම උපකරණය වෙළඳපොළ තුළ ආරක්ෂාකාරී සේවාවක් ලබාදීම සඳහා විශේෂයෙන් පරීක්ෂාකර සහතික කර තිබෙනවා. අපි PAYable ප‍්‍රයිවට් ලිමිටඞ් සමග ඒකාබද්ධවීම තුළින් ඉතාමත් පහසු, පිරිවැය සඵලතාවයෙන් යුක්ත සහ සියළු ව්‍යාපාර වලට ප‍්‍රවේශ වියහැකි සියලූ ගෙවීම් පිළිගැනීමේ විසඳුම් ඇතුළත් වන තනි විසඳුමක් ලබාදීමට අවශ්‍ය හොඳම දෘඪාංග සහ මෘදුකාංග විසඳුම් එක්තැන් කර තිබෙනවා.’

    PAYable විසඳුම සහ කොමර්ෂල් බැංකුව සමග ඇතිකර ගත් ඒකාබද්ධතාවය පිළිබඳව PAYable ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී සහ සම සමාරම්භක, යොහාන් විජේසිරිවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ඊළඟ පරම්පරාවේ ඩිජිටල් ගෙවීම් පිළිගැනීම් වෙළෙඳුන්ට හඳුන්වාදීමට කොමර්ෂල් බැංකුව සමග ඒකාබද්ධ වීමට හැකිවීම පිළිබඳව PAYable නැවතත් ආඩම්බර වෙනවා. මෙය අති නවීන විසඳුමක් වෙනවා මෙන්ම වෙළෙඳුන්ට අවශ්‍යවන ජංගම පහසුව සිට රිසිට්පත් නිකුත් කිරීම දක්වා සම්පූර්ණ විසඳුම් මාලාවක් මෙයට ඇතුළත් වෙනවා. මෙම ඒකාබද්ධතාවය තුළින් ඉදිරියේදී දිවයින පුරා සිටින වෙළෙඳුන්ට පුළුල් ඩිජිටල් ගෙවීම් විසඳුමක් ලබාදී තිබෙනවා.’

    PAYable විසින් මෙරට වෙළෙඳුන් 22,000 කට වැඩි සංඛ්‍යාවක් සවිබල ගන්වා තිබෙන අතර මෙරට ජංගම දුරකතන POS සේවා සම්පාදන තනි විශාලතම සමාගම වන්නේ මෙයයි. සියළුම ප‍්‍රධාන පිරිවැය සීමාවන් අතික‍්‍රමණය කරමින් PAYable විසින් ඉතාමත් සාර්ථක ලෙස මුදල් නොවන ගනුදෙනු පිළිගැනීමට නොහැකි වෙළෙඳුන් එම ගනුදෙනු පිළිගැනීමට යොමු කිරීමට ඉතාමත් සාර්ථක ලෙස සිදු කර තිබේ.

    කොමර්ෂල් බැංකුව විසින් වෙළෙඳුන්ට හඳුන්වා දෙන මෙම ඇන්ඩ්‍රොයිඞ් පොයින්ට් ඔෆ් සේල් උපකරණය මගින් මෙරට සිදුකළ හැකි වැඩිම ගෙවීම් විකල්ප ප‍්‍රමාණය ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මෙම උපකරණය මගින් LankaQR, VisaQR සහ Masterpass (MasterCard QR) WechatPay මෙන්ම Alipay හි, QR කේත පදනම් කරගත් ගෙවීම් කිරීමද අවස්ථාව හිමිවේ. ස්පර්ෂයෙන් තොර ගෙවීම් කාඞ්පත් ගනුදෙනු සිදුකිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ පළමුවෙන්ම සහතික කළ පොයින්ට් ඔෆ් සේල් උපකරණයක් ලෙස කොමර්ෂල් බැංකුවේ මෙම පොයින්ට් ඔෆ් සේල් උපකරණය සඳහන් කළ හැකිය.

    ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

    බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.