Orange cap, Purple cap කවුද ගණන් ගන්නේ – මහේලගේ සුපිරි කතාව

May, 13, 2019

IPL ක්‍රිකට් තරඟ ඉතිහාසයේ තියුණුම අවසාන මහා තරඟය ඊයේ (12) නැරඹීමට ක්‍රිකට්ලෝලීන්ට අවස්ථාව උදාවිය. එහිදී මුම්බායි ඉන්දියන්ස් පිල ශූරතාවය අත්පත් කර ගැනීමට සමත්වූයේ එක් ලකුණකින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරදවමිනි.

මෙම තරඟය පුරාවට ශ්‍රී ලංකාවේ නම ද රැවිපිළිරැව් දුන්නේ මෙරට අතිවිශිෂ්ටතම ක්‍රීඩකයින් දෙපළක් නිසාවෙනි. එක් අයෙක් නම් තරඟයේ අවසාන පන්දු වාරයේ අවසාන පන්දුවේ දී මුම්බායි පිලට ජයග්‍රහණය ලබා දීමට සමත් වූ ලසිත් මාලිංගයි.

අනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයා මුම්බායි ඉන්දියන්ස් සමඟ එක්වන්නේ ක්‍රීඩකයෙකු වශයෙන් නොව ප්‍රධාන පුහුණුකරු වශයෙනි. ඒ මෙරට විශිෂ්ට පිතිකරුවකු වූ මහේල ජයවර්ධනයි.

ලොව 13 වැනියාට විශාලතම ධනපතියා වන මුකේශ් අම්බානි ඉන්දියාවේ අංක එකේ කෝටිපතියාය. මුම්බායි ඉන්දියන්ස් පිලේ අයිතිකරුවා වන්නේ ඔහුයි. ඩොලර් බිලියන 50 ක ධනයකට හිමිකම්  කියන ඔහු වැන්නෙකු, සිය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙසින් මහේල ජයවර්ධන තෝරා ගැනීම සැබැවින්ම ශ්‍රී ලංකාවට අභිමානයකි.

ජයග්‍රහණයෙන් පසු මහේල සිය කණ්ඩායමේ සගයින් අමතමින් මෙසේ කීවේය.

“අපි අද තරඟේ අතහැරියේ නැහැ. ඔව් අපි වැරදි කළා. නමුත් අපි නැවත පැමිණියා. ඒක තමයි වැදගත්.“

“ඒක තමයි අපි නිර්මාණය කළ සංස්කෘතිය. ඒ වගේම තරඟාවලිය පුරාම හැම කෙනාද තමන්ගේ දායකත්වය ලබා දුන්නා.“

“අපිට Orange cap නැහැ. Purple cap නැහැ. කවුද ඒවා ගණන් ගන්නේ.“

“අපි මේක (කුසලානය පෙන්වමින්) දින්නා.“  

මේ පිළිබඳ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.