PayPal ලංකාවට එන්න ප්‍රමාද වෙන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටළුවක් නිසා

    September, 11, 2020

    ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න විසඳුනු වහාම PayPal පහසුකම ලංකාවට ලබාදීමට අපි කටයුතු කරනවා - ඇමති උදය ගම්මන්පිල

    වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් ලෙස PayPal පහසුකම ශ්‍රී ලංකා ජනතාවට ලබා දිය යුතුය යන මතයේ තමා තදින්ම සිටින බවත් එම පහසුකම් මෙරටට නොලැබීමට මෙතෙක් ඉතිහාසයේ කාරණා දෙකක් බලපා ඇති බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    ත්‍රස්තවාදීන්ට මුදල් ගෙන්වා ගැනීමේ දී මෙම පහසුකම අවභාවිතා කිරීමට ඉඩතිබීමත්, පසුගිය වසර 5 තුළ මුදල් විශුද්ධීකරණයේ කේන්ද්‍රස්ථානය ලෙස ශ්‍රී ලංකාව යොදා ගෙන තිබීමත් හේතුවෙන් PayPal ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරලීමට හේතුවූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    “ත්‍රස්තවාදී  ප්‍රශ්නය පහුගිය ආණ්ඩුව කාලේ හිස එසෙව්වා, අප දැන් ඒක කුඩුපට්ටම් කරලා තියෙන්නේ කියලා, ආරක්ෂක ලේකම්තුමා විශ්වාසයෙන් කියනවා.“

    “ඒ වගේම කළු සල්ලි වඩාත්ම බිහිවෙන්නේ මත්ද්‍රව්‍ය වෙළෙඳාමෙන්. ශ්‍රී ලංකාව දැනට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙලා තියෙනවා පහුගිය කාලේ. නමුත් ආණ්ඩුව මේ දිනවල වේගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපවත්වමින් යනවා, මේ ප්‍රශ්න දෙක විසඳ ගත්තායින් පස්සේ අනිවාර්යයෙන්ම PayPal, PayPal වෙනුවට ඊසී කෑෂ් ක්‍රම භාවිත කර මේ අය මත්ද්‍රව්‍ය වෙළෙඳාම ලංකාව තුළ කරගෙන යනවා. ජාත්‍යන්තර වශයෙන් කරද්දී PayPal තිබීම ඔවුන්ට පහසුවක් වෙනවා.“

    “නමුත් අපේ ආරක්ෂක ලේකම්තුමා දැඩි ප්‍රකාශයක් කරලා තියෙනවා ත්‍රස්තවාදය නැති කළ ආකාරයෙන් මේ මත්ද්‍රව්‍ය ජාවාරමත් නැති කරනවා කියලා. ඒ සමඟම PayPal පහසුකම ලබා දිය යුතුය කියන සටනේ ඉන්න, ඊට කලින් ඒ ගැන අදහස් දක්වපු, ඒ වෘත්තීයේ නියැලි කෙනෙක් නිසා ඒකේ වටිනාකම දන්න කෙනෙක් අපි. නමුත් ජාතික ආරක්ෂාව අංක එක. මේ ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න විසඳුනු වහාම PayPal පහසුකම ලංකාවට ලබාදීමට අපි කටයුතු කරනවා.“

    මේ අතර අද දෙරණ Big Focus සංවාදාත්මක වැඩසටහන සමඟ එක්වෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂක ඩී. කුමාරතුංග මහතා, PayPal පහසුකම ශ්‍රී ලංකාවට ලැබීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියේය.

    “මූලික වශයෙන් PayPal සමඟ අප නිතරම සාකච්ඡා කරනවා. ගිය මාසෙත් අපි දැන්වූවා අපි කතාකරන්න කැමතියි කියලා. ඔවුන් අපිට දන්වලා තිබුණා, කොවිඩ් වසංගතයෙන් පස්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කැමතියි කියලා. ඉන්දියාවේ තමයි මේ කලාපයේ කාර්යාලය තිබෙන්නේ.“