SISILI සමාගම මෙරට ප්‍රථම EECP ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත කරයි

July, 8, 2019

වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ සමාගමක්වන Sisili සමාගම මෙරට ප්‍රථම රුධිර වාහිනී ආශ්‍රිත රෝග සඳහා කැපීම්වලින් තොර ප්‍රතිකාර සහ බාහිර රෝගී කළමනාකරණ හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මහතා මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේය. මෙම හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය (HearAid Centre) හරහා ශ්‍රී ලාංකිකයන් හට නවත ම බාහිර ස්ඵන්දන චිකිත්සක (Enhanced External Counter Pulsation) පද්ධතියට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවී ඇත.

 

"බෝ නොවන රෝග ශ්‍රී ලංකාවට දැන් ගැටළුවක් බවට පත්ව තිබෙන නිසා එම ක්ෂේත්‍රය සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කරනවා. රෝහල්ගත මරණවලින් 65%කට ආසන්න ප්‍රතිශතයක් සිදු වන්නේ හෘද රෝග, හදිසි හෘද රෝග, දියවැඩියාව සහ නිදන්ගත ශ්වසන රෝග ආදී ප්‍රධාන පෙළේ බෝ නොවන රෝග නිසයි. හෘද රෝග හදිසි ප්‍රතිකාර ලබාදිය යුතු රෝග ඝණයට ගැනෙන අතර ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානය කඩිනමින් අවශ්‍ය වනවා. මෙවැනි කැපීම්වලින් තොර නවීන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පුද්ගලික අංශයෙන් ගොඩනැගීම හරහා රෝගීන් හට මෙරටදී ම එම සේවාව ලබා ගැනීමට හැකිවනවා. සෞඛ්‍ය අමාත්‍යංශය මෙම ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදෙන අතර මෙරට ජනතාවට ප්‍රමිතියෙන් උසස් සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා ජාතික වශයෙන් අප සතු හැකියාව තවත් පුළුල් වීමට මෙවැනි ව්‍යාපෘති බලපානවා" යනුවෙන් අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළේය.

 

කොළඹ මහ රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ද මෙම අවස්ථාව සඳහා ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූයේය. "ශල්‍යකර්ම සඳහා සුදුසු සෞඛ්‍ය තත්ත්වයක් නොමැති රෝගීන් හට පපුවේ කැක්කුම් සඳහාවන උපරිම ප්‍රතිකාර ලබාදීම සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය දීර්ඝකාලීන අවශ්‍යතාවක් වුණා"

 

EECP චිකිත්සක පද්ධතිය යනු දීර්ඝ කාලයක පටන් ස්ථාවරව පපුවේ වේදනාව (Chronic Stable Angina) පවතින රෝගීන් හට රුධිර නාල අවහිරය ඉවත් කිරීමේ විකල්පයෙන් තොරව කැපීම්වලින් තොරව ප්‍රතිකාර කළ හැකි ස්ඵන්දන මෙවලමකි. මෙය, පපුවේ වේදනාව (Angina) සහ හෘදය අකර්මන්‍ය වීම (Heart Failure) වැනි සංකීර්ණ රෝග සහිත රෝගීන් හට දැනට පවතින නවීනත ම මෙවලම් පෙළකි. මෙම පද්ධතිය නූතන සැකැස්මකට අනුව ගොඩනගා ඇති බැවින් එමගින් රෝගියාගේ පහසුව තහවුරු කරමින් රෝගී පරික්ෂාව වැඩිදියුණු කිරීමටත්, වෛද්‍යවරුන් හට භාවිතය පහසු කිරීමටත් හැකිවේ.

 

සායනික අධ්‍යයන සහ රෝගීන්ගේ වාර්තාවලට අනුව EECP ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 80%කට නිදන්ගත රුධිර වාහිනී ආශ්‍රිත රෝග (CAD) සම්බන්ධව කැපීපෙනෙන සුවයක් ලබාගත හැකිය. පපුවේ වේදනාව අඩු වීම හෝ මුළුමනින් ම සුවවීම, ඖෂධ ලබා ගැනීමේ අවශ්‍යතාව අඩු කිරීම, ක්‍රියාකාරකම් ඉටුකර ගැනීමේ හැකියාව වැඩිවීම සහ ජීවන ගුණය වැඩිදියුණු වීම එම ප්‍රතිකාරයේ ප්‍රතිලාභ අතර ප්‍රධාන වේ. EECP ප්‍රතිකාරයේ ප්‍රතිඵල දීර්ඝ කාලයක් පවතින බවත් එය වසර පහක් දක්වා පවත්වා ගත හැකි බවත් ප්‍රකාශිත දත්ත පෙන්වා දෙයි. EECP ප්‍රතිකාර සඳහා සාර්ථකව මුහුණ දෙන රෝගීන් හට එය ඉහල ප්‍රතිලාභ හිමිකර දෙන වියදම් අවම විකල්පයක් ලෙස සැලකේ.

 

EECP ප්‍රතිකාරය සාමාන්‍යයෙන් පැයක සැසි 35ක් ලෙස සති හතක කාලයක් පුරා ලබාදෙයි. EECP චිකිත්සක පද්ධතිය වායු සම්පීඩකයක්, පරිගණකයක්, රෝගියාගේ සිරුරේ ප්‍රමාණය අනුව සකස් කළ පීඩක කට්ටලයක් සහ කාර්ය පහසුව අනුව සකස් කළ ප්‍රතිකාර මේසයක් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත ඒකාබද්ධ පද්ධතියකි. රෝගියා තුනී කොට්ට යොදන ලද මේසය මත වැතිරෙන අතර රෝගියාගේ කෙණ්ඩා සහ කලවා ප්‍රදේශ රෝගී පරික්ෂාව සඳහා යොදන ආවරණයෙන් ආවරණය කෙරේ. රෝගියාගේ රුධිර සංසරණ මාර්ගය අනුව ක්‍රියා කරන මෙම පද්ධතිය මගින් ආවරණ වාතයෙන් පුරවා හෘදය විවේකීව තිබෙන අවස්ථාවට සහ හෘද ස්පන්දනය යළි ආරම්භවන මොහොතට අවශ්‍ය අමතර පීඩනය ලබාදෙයි. පද්ධතිය මගින් හෘදයේ මාංශ පේශි දක්වා රුධිර ගලනය වර්ධනය කරන අතර එමගින් හෘදයේ කාර්ය ප්‍රමාණය අඩු කරයි. ඒ අනුව, හෘදයේ මාංශ පේශි සඳහා වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සැපයෙන අතර හෘදයේ ඔක්සිජන් අවශ්‍යතාව අඩු කරයි.

 

FDA සහ Medicare අනුමැතිය හිමි, කැපීම්වලින් තොර බාහිර රෝගී ප්‍රතිකාර ක්‍රමයක්වන EECP චිකිත්සක පද්ධතිය පපුවේ වේදනාව සහ හෘද අකර්මන්‍යවීම යන රෝගවලින් පෙලෙන රෝගීන් හට ලබාදිය හැකි සාර්ථක ප්‍රතිකාර ක්‍රමවේදයකි. ඇමරිකාවේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය ජ'නල මගින් ප්‍රකාශයට පත් කරන ලද ලිපි 80කට අධික ප්‍රමාණයක මෙම ප්‍රතිකාර ක්‍රමයේ ඇති සුවිශේෂී ප්‍රතිලාභ පිළිබඳ සඳහන් කර ඇත. ව්‍යායාම කිරීමේ හැකියාව, ඔක්සිජන් උපරිම මට්ටමින් ලබා ගැනීම සහ ජීවන ගුණය වැඩි කිරීම ආදී ප්‍රතිලාභ ඒ අතර කැපී පෙනෙයි.

 

EECP පිළිබඳ වැඩිදුර විස්තර සඳහා 0114504662/3 අංකයෙන් හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානය අමතන්න.