SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සඳහා පිරිනැමුණු IESL හි කොන්දේසි සහිත පිළිගැනීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ගුණාත්මක මට්ටම ඉහළ නංවයි

    June, 18, 2024

    SLIIT හි යාන්ත්රික ඉංජිනේරු අංශයේ අංශ ප්රධානී මහාචාර්ය මිගාර ලියනගේ සමග පවත්වනු ලැබූ සම්මුඛ සාකච්ඡාව.

    SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය  (Institution of Engineers Sri Lanka - IESL) විසින් කොන්දේසි සහිතව පිළිගැනීමක් ලබා ගනිමින් සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණ තිබේ. පාඨමාලාව හදාරනු ලබන උපාධිධාරීන් ජාත්‍යන්තර වශයෙන් හඳුනාගැනීමට සහ සේවා නියුක්තිය සඳහා අත්‍යවශ්‍යවන සියලු සුදුසුකම් සපුරා ගැනීමට මෙම පිළිගැනීම මූලික වශයෙන් ඉතා වැදගත් වනු ඇත.

    SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු අංශයේ අංශ ප්‍රධානී, මහාචාර්ය මිගාර ලියනගේ මහතා විසින් මෙම ජයග්‍රහණයේ ඇති වැදගත්කම පිළිබඳව සහ IESL හි ප්‍රමිතීන් සපුරාලීමට හේතු වූ ප්‍රධාන සාධක හා අනෙකුත් ආයතනවලට වඩා වෙනස් මුහුණුවරක් ගත් SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාවේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳව ද ඔහු සමගින් කරනු ලැබූ සම්මුඛ සාකච්ජාවේදී අදහස් දැක්විය.

    SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව සඳහා IESL වෙතින් මෙම කොන්දේසි සහිත පිළිගැනීම ලබා ගත්තේ කෙසේද?

    SLIIT ආයතනය 2013 වසරේදී යාන්ත්‍රික ඉංජිනේරු අංශය ස්ථාපිත කරමින්, ඉංජිනේරු උපාධි පාඨමාලා ආරම්භ කළා. අපි ඉදිරිපත් කරනු ලැබූ උපාධි පාඨමාලා සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) අනුමැතිය හිමි වුණා. ඒ අනුව ආරම්භක ඉන්ජිනේරු ශිෂ්‍ය කණ්ඩායම 2017 වසරේදී උපාධිය ලබා ගත්තා. අපගේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව, 2025 සහ 2026 වසරවල උපාධිධාරී කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයෙන් කොන්දේසි සහිත පිළිගැනීමක් ලබා ගනිමින් සුවිශේෂී වූ ජයග්‍රාහී සන්ධිස්ථානයකට පැමිණියා.

    මෙම පිළිගැනීම හරහා SLIIT ආයතනයට සහ පාඨමාලාව හදාරන සිසුන්ට ලැබෙන වටිනාකම කුමක්ද?

    මෙම කොන්දේසි සහිත පිළිගැනීම අපට ඉතා වැදගත් සන්ධිස්ථානයක්. එය වොෂින්ටන් සම්මුතියට අනුකූලව IESL විසින් පූර්ණ වශයෙන් සුදුසුකම් ලබා ගැනීමේ පළමු පියවර වශයෙන් පිළිගනු ලබනවා. වොෂින්ටන් සම්මුතිය යනු උපාධි අපේක්ෂක මට්ටමේ ඉංජිනේරු උපාධි සඳහා සුදුසුකම් සහ පිළිගැනීම ලබා දීම වෙනුවෙන් වගකිව යුතු ජාත්‍යන්තර නියෝජිත ආයතන හෝ සංගම් අතර ඇති කර ගත් බහු පාර්ශ්වික ගිවිසුමික්. මෙවැනි පිළිගැනීමක් අත් කර ගැනීම තුළින් අපගේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලවේ ගුණාත්මකභාවය පිළිබඳව පිළිඹිබු වෙනවා. ඒ වගේම එය පූර්ණ සුදුසුකමක් වශයෙන්ද පිළිගැනෙනවා.

    මෙම පිළිගැනීම හරහා සිසුන්ට ලැබෙන ප්‍රතිලාභය කුමක්ද?

    මෙම පිළිගැනීම හිමි කර ගැනීම හරහා ලැබෙන ක්ෂණික ප්‍රතිලාභය වන්නේ පවතින රෙගුලාසිවලට අනුව, සියලුම උපාධිධාරී යාන්ත්‍රික ඉංජිනේරුවන් IESL හා සම්බන්ධ සාමාජිකයින් බවට හැඳින්වීමයි. අපගේ පාඨමාලාවේ පිළිගැනීමේ තත්ත්වයත් සමග මෙම කණ්ඩායම් දෙකේ උපාධිධාරීන්හට නිතැතින්ම IESL හා සම්බන්ධ සාමාජිකත්වය හිමිවෙනවා. එය අපගේ සිසුන්ට විශාල වශයෙන් වැදගත් වනවා. ඒ වගේම එය ඔවුන්ගේ වෘත්තීය භාවිතයන් සඳහා සහයක් වෙනවා.

    SLIIT ආයතනයට මෙවැනි පිළිගැනීමක් ලැබීමට තරම් බලපෑ ප්‍රධාන හේතු මොනවාද?

    කොන්දේසි සහිත පිළිගැනීමක් ලැබීමේ අපගේ සාර්ථකත්වයට හේතු කිහිපයක් තිබෙනවා. SLIIT ආයතනය නිරතුරුව සිය උපාධි පාඨමාලාවල ගුණාත්මක භාවය පවත්වා ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. ගෝලීය ප්‍රමිතීන්ට සහ අවශ්‍යතාවයන්ට අනූව එම කඩඉම් සපුරාලීම සඳහා සකස්කර ඇති උසස් මට්ටමේ නූතන විෂය මාලාවන් අපි හඳුන්වා දෙනවා. එම පාඨමාලා අනෙකුත් දේශීය හා ජාත්‍යන්තර උපාධි පාඨමාලා හා සමානව පිළිගත් උසස් ප්‍රමිතියකින් හා ගුණාත්මක තත්ත්වයකින් යුතු පාඨමාලා. සිසුන්ට ඉහළ මට්ටමේ ඉගෙනීම් අත්දැකීම් ලබා දීම අපි සහතික කර තිබෙනවා. අපගේ උපාධි පාඨමාලා, නව වර්ධනයන් සහ ප්‍රවණතා ඇතුළත්ව වැඩි දියුණු කරමින් අඛන්ඩව පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා.

    අනෙකුත් ආයතන සහ විශ්වවිද්‍යාලවලට වඩා වෙනස්ව SLIIT විසින් පවත්වනු ලබන උපාධි පාඨමාලාවේ ඇති සුවිශේෂතා මොනවාද?

    SLIIT හි උපාධි පාඨමාලා වෙනත් ආයතන හා විශ්වවිද්‍යාලවලින් පිරිනමන උපාධි පාඨමාලා අතරින් වෙනස් බවට හඳුනාගත හැකි සුවිශේෂී ගුණාංග කිහිපයක් තිබෙනවා. අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නවීනතම විෂයමාලා අපි ඉදිරිපත් කරනවා. එය ලෝකයේ වෙනත් ඕනෑම උපාධි පාඨමාලාවක් සමග සැසඳිමට පුළුවන්. තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ SLIIT හි කාර්ය මණ්ඩලයයි. අපගේ පීඨය තුළ ශ්‍රී ලංකාවේ උසස්ම මට්ටමේ සුවිශේෂී අත්දැකීම් සහිත සහ දැනුම ඇති කාර්ය මණ්ඩල සාමාජිකයින් සිටිනවා. ඔවුන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් ලබපු පිරිස්. සිසුන්ට ප්‍රායෝගික අධ්‍යයන කටයුතු සහ කුසලතා වර්ධනය සඳහා අවශ්‍ය සම්පත් සලසාදීම සඳහා අපි අති නවීන විද්‍යාගාර පහසුකම් ලබා දී තිබෙනවා. අප සතුව ඇති මෙම සුවිශේෂී තත්ත්වයන් ආරක්ෂා කිරීමට අපි කැපවීමෙන් කටයුතු කරනවා.

    මෙම පිළිගැනීම SLIIT හි උපාධිධාරීන්ට වෘත්තීයමය වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ කෙසේද?

    ශ්‍රී ලංකා නව ඉංජිනේරු සභාව පිහිටුවීමත් සමග පුහුණුව ලබන ඉංජිනේරුවන් එම සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර තිබෙනවා. සියලුම පුහුණු ඉංජිනේරුවන් IESL හි සාමාජිකත්වය ලබා ගැනීමට ද අවශ්‍යයි. IESL පිළිගැනීමක් තිබීම තුළින් අපගේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධිධාරීන්හට IESL හා සම්බන්ධ සාමාජිකත්වය නිරායාසයෙන්ම ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එය ඔවුන්ට සිය වෘත්තීය ජීවිතය දියුණු මට්ටමකට ලඟා වීමේදී වරලත් ඉංජිනේරුවන් වශයෙන් කටයුතු කිරීමට සහයක් වෙනවා.

    මේ හරහා ඔවුන්ගේ අනාගත රැකියා අවස්ථා වැඩි දියුණු කරන්නේ කෙසේද?

    SLIIT ආයතනයේ යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ පසු එය පුළුල් පරාසයක විහිදී ගිය රැකියා අවස්ථාවන් සලසා දෙනවා. ඒ මගින් ඉංජිනේරු වෘත්තියක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පදනම නිර්මාණය කර දෙනවා. යාන්ත්‍රික ඉංජිනේරුවන් වශයෙන් උපාධිය ලබා ගන්නා පිරිස් හට කර්මාන්ත ක්ෂේත්‍රයේ මෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ හෝ ව්‍යවසායකයෙකු ලෙස වෘත්තීය මාර්ගයක් තෝරා ගැනීමට හැකියාව ලැබෙනවා. ක්ෂේත්‍රයට සම්බන්ධ වුණොත් ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන්න පුළුවන්. ශාස්ත්‍රීය ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට කැමති අයට කථිකාචාර්යවරයෙකු හෝ පර්යේෂකයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කරන්න පුළුවන්. ඔබට ඔබගේ අනාගත වෘත්තීය ජීවිතය ගත කරද්දී උසස් අධ්‍යාපනය සමග අමතර සුදුසුකම් සපුරා ගැනීමට සිදු වේවි. මෙම උපාධිය හරහා සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා මූලික සුදුසුකම් ද සපුරා දෙනවා. කෙනෙකුට උපාධිය සමග ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව හා සමග සම්බන්ධ වීමටද මේ හරහා අවස්ථාව තිබෙනවා.

    SLIIT යාන්ත්‍රික ඉංජිනේරු උපාධියේ විෂයමාලා අන්තර්ගතය කුමක්ද?

    යාන්ත්‍රික ඉංජිනේරු උපාධි පාඨමාලාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙනවා. අපි අපගේ විෂය මාලාව IESL විසින් නියම කර ඇති අවශ්‍යතා සමග ද පෙළගස්වා තිබෙනවා. SLIIT විසින් මේ වනවිට සාමාන්‍ය යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය මෙන්ම Mechatronic ඉංජිනේරු විශේෂ උපාධිය ද පිරිනමනවා. අපගේ උපාධි පාඨමාලවේ පළමු වසරට පොදු ක්‍රියාකාරකම් ඇතුළත්. ඒ අනුව පළමු වසර තුළ සිසුන් ඉංජිනේරු විද්‍යාවට පදනම් වී ඇති කරණා පිළිබඳව අධ්‍යයන කිරීම් ආරම්භ කරනවා. දෙවන වසරේදී ඔවුන් සාමාන්‍ය යාන්ත්‍රික ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව ඉගෙන ගන්නවා. ඉන් අනතුරුව තුන්වන වසරේ ඔවුන් කළමනාකරණය, නීතිය වැනි විෂයයන් සමග ඉංජිනේරු ක්ෂේත්‍රය පිළිබඳව ඉගෙන ගන්නවා. සිව්වන නැතිනම් අවසාන වසර තුළදී සිසුන් සැබෑ ජීවිතයේ පවතින ගැටළු වලට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා ව්‍යාපෘතිවල නිරත වෙනවා. ඔවුන් සතු දැනුම ප්‍රායෝගික ගැටලු විසඳීමට යොදා ගනු ලබනවා. සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත අනුව වැඩි දුර විශේෂී වූ ක්ෂේත්‍ර තෝරා ගැනීමට අවස්ථාව තිබෙනවා. දෙවන හා තෙවන වසරවලින් අනතුරුව සිසුන් අනිවාර්ය වූ කාර්මික පුහුණුවක් ලබා ගත යුතුයි. මෙම කාර්මික පුහුණුව හරහා ඔවුන්ට සැබෑ ලෝකයේ ඉංජිනේරු ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සිය කුළුඳුල් අත්දැකීම ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

    අනාගත සිසුන් SLIIT ආයතනයට ඇතුළත් වී යාන්ත්‍රික ඉංජිනේරු පාඨමාලාව හැදෑරිය යුත්තේ ඇයි?

    යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රය සඳහා මේ වන විට විශාල ඉල්ලුමක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශය රටවල පවා මේ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථාවන් තිබෙනවා. පසුගිය කාලයේ අපි සාධනීය අයුරින් රැකියා අනුපාත පවත්වා ගෙන ගියා. රටේ නිෂ්පාදන වර්ධනය ඇති කර අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීමට රජය සැලසුම් කරමින් සිටිනවා. මේ අවස්ථාව හරහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකියාව ලැබෙනවා. ඉදිරියේදී අනාගත ආර්ථිකය පුළුල් කිරීමට රජය අරමුණු කර ගෙන තිබෙන නිසා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ වැඩි අවශ්‍යතාවයක් රටට තිබෙනවා.

    අපගේ විෂය මාලාව දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ඉතා සැලකිලිමත්ව නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම අපගේ උපාධිධාරීන් ක්ෂේත්‍රයේ අවශ්‍යතාවයන් සඳහා හොඳින් සූදානම්ව සිටින බව අපි සහතික කරනවා. SLIIT ආයතනය පුළුල් වූ අත්දැකීම් හා විශේෂඥතාවයක් ඇතිව සිසුන්ට ඔවුන්ගේ අධ්‍යයන ගමන් මග පුරාවටම වටිනා මග පෙන්වීමක් සහ උපදේශන සේවයක් ලබා දීමට කටයුතු කරනවා.ඒ වගේම අති නවීන විද්‍යාගාර පහසුකම් සහිත ඉගෙනීමේ අත්දැකීම තව තවත් වැඩි දියුණු කරනවා. සිසුන් මෙම පාඨමාලාව හදාරන අතරතුර දී ඔවුන්ට විවිධ ව්‍යාපෘතිවල නිරත වීමට අවස්ථාව ලැබෙනවා. ඒ මගින් ඔවුන්ට ප්‍රායෝගික අත්දැකීම සහ සැබෑ ජීවිතයේ ගැටලු පිළිබඳ න්‍යායාත්මක සංකල්පවල ප්‍රායෝගික භාවිතය අත්විඳීමට ලැබෙනවා.

     SLIIT හි පර්යේෂණ සංස්කෘතිය පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?

    වර්තමානය වනවිට SLIIT, ශක්තිමත් පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීමට කැපවීමෙන් කටයුතු කරනවා. පර්යේෂණවලට සම්බන්ධ වීම තුළින් සමාජයේ පවතින සැබෑ ගැටලු විසඳීම සඳහා අවශ්‍ය නවීන විසඳුම් සෙවීමට සිසුන්ට අවස්ථාව ලැබෙනවා. උසස් මට්ටමේ සඟරාවල සමාලෝචන ප්‍රකාශනවලට පදනම් වන ගුණාත්මක පර්යේෂණ පිළිබඳව අපි විශ්වාසය තබා සිටිනවා. ගිය මාසයේදී අපගේ උපාධිධාරීන් දෙදෙනෙක් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළා. පසුගිය කාලයේදී අපගේ පීඨය එක්සත් රාජධානියේ Bentley Motors සමග පර්යේෂණ සඳහා සහයෝගීතාවයක් ඇති කර ගෙන තිබුණා. වර්තමානයේදී අපි අවසන් වසරේ සිසුන්ගේ පර්යේෂණ ව්‍යාපෘති සඳහා සමාගම් කිහිපයක් සහ වෙනත් සංවිධාන සමගින් සමීපව කටයුතු කරනවා. අනාගතයේදී, දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති (Master of Philosophy) සහ දර්ශනය පිළිබඳ ආචාර්ය (Doctor of Philosophy) උපාධි දක්වා උසස් මට්ටමේ පශ්චාත් උපාධි පර්යේෂණ සමග මෙම සහයෝගීතාවයන් පුළුල් කිරීමට අපි සැලසුම් කරනවා.

    අනාගතය දෙස බැලූ විට, මෙම පිළිගැනීම හරහා ගනු ලබන ඉදිරි පියවර කුමක්ද?

    අපගේ මීළඟ අරමුණ වන්නේ උපාධි පාඨමාලාවට පූර්ණ පිළිගැනීමක් ලබා ගැනීමයි. අපගේ පාඨමාලා අඛණ්ඩව වැඩිදියුණු කිරීමට අපි මහන්සි වී කැපවීමෙන් වැඩ කරනවා. ඒ වගේම නැගී එන ක්ෂේත්‍ර හඳුන්වා දීමටත් අපි කටයුතු කරනවා. උදාහරණයක් ලෙස, යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළව කෘත්‍රිම බුද්ධිය උපයෝගීවන නැගී එන ප්‍රවනතාවයන් සහිත යෙදුම් කිහිපයක් නිර්මාණය වී තිබෙනවා. අපි දැනට වැඩ කරන වෘත්තිකයන්ට සහ වර්තමාන උපාධිධාරීන් සඳහා කර්මාන්තයේ 4.0 (Industry 4.0)  විශේෂඥ වැඩසටහන හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. එමෙන්ම පර්යේෂණ කටයුතු සඳහා සුවිශේෂී ස්ථානයක් දීමට අපි බලාපොරොත්තු වෙනවා. පශ්චාත් උපාධි පාඨමාලා අප පීඨයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා උපකාරී වනවා. ඒ වගේම දේශීය කර්මාන්ත සහ අනෙකුත් සංවිධාන සමග එක්ව අපගේ අන්තර් සබඳතා වැඩිදියුණු කිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා. දේශීය  කර්මාන්ත වැඩිදියුණු කිරීම සඳහා උපදේශන සහ පර්යේෂණ ව්‍යාපෘතිවලට සම්බන්ධ වීමෙන් දෙපාර්ශවයටම ප්‍රතිලාභ හිමි කර ගැනීම සඳහා බලාපොරොත්තු වෙනවා.