SLIIT 2020 උපාධි ප්‍රදානෝත්සවය මහත් හරසරින් පැවැත්වෙයි

    June, 1, 2020

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන SLIIT, සිය 2020 උපාධි ප්‍රදානෝත්සවය මාලබේ පිහිටි සිය ප්‍රධාන අධ්‍යයන පරිශ්‍රයේදී, පෙබරවාරි 25 සිට 28 දක්වා සිව් දිනක් පුරා අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.

    මූලික උපාධි, පශ්චාත් උපාධි මෙන්ම පශ්චාත් උපාධි ඩිප්ලෝමාධාරී සිසුන් 1,200 දෙනෙකුගේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කෙරුණු, මේ සෑම දිනයකදීම ප්‍රධාන ආරාධිතයින් ලෙස සුවිශේෂී පුද්ගලයෝ රැසක් සහභාගී වූහ. සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (ICTA) සභාපති ජයන්ත ද සිල්වා මහතා, කාගිල්ස් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය කපිල පෙරේරා, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ විගණන කමිටු සභාපති ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා, නාවික ඉංජිනේරු හා නාවික වාස්තු විද්‍යාඥ මංගල පී.බී. යාපා මහතා, ඕස්ට්‍රේලියාවේ Curtin සරසවියේ ජාත්‍යන්තර නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය සෙත් කුනින් සහ එම විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය ජෝන් කෝඩරි යන මහත්වරු ඊට අයත්වූහ.

    උපාධි ප්‍රදානෝත්සවයේ වැඩකටයුතු ආරම්භ වූයේ SLIIT උපාධි පිරිනැමීමත් සමඟ ය. එනම් SLIIT මගින් පිරිනැමෙන ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධි, සිවිල් ඉංජිනේරුවේදය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, විදුලි හා ඉලෙක්ට්‍රොනික් විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, යාන්ත්‍රික ඉංජිනේරුවේදය පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, යාන්ත්‍රික ඉංජිනේරුවේදය (මෙකාට්‍රොනික්ස්) පිළිබඳ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, ව්‍යවසාය හා යෙදවුම් සංවර්ධනය පිළිබඳ විද්‍යාපති උපාධිය, තොරතුරු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධිය,  තොරතුරු පද්ධති පිළිබඳ විද්‍යාපති උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය, තොරතුරු තාක්ෂණය පිළිබඳ (සයිබර් ආරක්ෂණ) විද්‍යාපති උපාධිය සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ දර්ශන ශාස්ත්‍රපති, පශ්චාත් උපාධි ඩිප්ලෝමා මෙහිදී පිරිනැමිණි.

    උත්සව සභාව අමතමින් මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපති, මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙසේ පැවසීය. “උපාධිය යනු දැනුම හා කුසලතා අත්පත් කරගැනීමේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර එය සැමරීමේ අවස්ථාවක්. SLIIT වසර ගණනාවක් තිස්සේ උසස් අධ්‍යාපනයේ සාර්ථකත්වය හා බැඳී සිටිනවා. අපි අභියෝග අවස්ථාවන් බවට පරිවර්තනය කරගත යුතුයි. ඔබ මිනිසුන් සමඟ කටයුතු කරන ආකාරය, ගැටලු, හැසිරීම් රටාව, ඔබේ ප්‍රවේශයන් ආදිය පිළිබඳ හැමදෙනෙක්ම විමසිල්ලෙන් බලාසිටිනවා. ඔබේ අවි ගබඩාවේ තිබිය හැකි බලවත්ම අවිය අධ්‍යාපනයයි”.

    ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලය මගින් මෙහිදී තොරතුරු තාක්‍ෂණවේදී උපාධිය, පරිගණකවේදී උපාධිය (මෘදුකාංග ඉංජිනේරු), විද්‍යාවේදී උපාධිය (පරිගණක පද්ධති හා ජාලකරණය), ඉංජිනේරු උපාධිය (ගෞරව) සිවිල් හා ඉදිකිරීම් ඉංජිනේරු, ඉංජිනේරු උපාධිය (ගෞරව) විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු, ඉංජිනේරු උපාධිය (ගෞරව) විදුලි බල ඉංජිනේරු සහ ඉංජිනේරු උපාධිය (ගෞරව) යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව යන උපාධි පිරිනැමීය.

    එක්සත් රාජධානියේ Liverpool John Moores විශ්ව විද්‍යාලයෙන්, වාස්තු විද්‍යා විද්‍යාවේදී (ගෞරව) උපාධිය, ව්‍යාපාර පරිපාලනවේදී  (ගෞරව) උපාධිය (Top-up), ඉලෙක්ට්‍රොනික හා විදුලි ඉංජිනේරු (ගෞරව) උපාධිය, ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී (ගෞරව) උපාධිය, ප්‍රමාණ සමීක්ෂණ විද්‍යාවේදී (ගෞරව) උපාධිය (Top-up), ව්‍යාපෘති කළමනාකරණ විද්‍යාපති උපාධිය යනාදිය සම්පූර්ණ කළ සිසුන්ගේ උපාධි පිරිනැමීම ද සිදුවිය.

    මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකුවන ඇන්තනි නිහාල් ෆොන්සේකා මහතා ද උත්සව සභාව ඇමතීය. “අපගේ වෘත්තීය ජීවිතයේ දී අප සියලු‍‌දෙනා අතින්ම වැරදි සිදුවනු ඇත. වැදගත්ම දෙය නම් ඒවායේ වගකීම භාරගෙන ඒවායෙන් ඉගෙන ගැනීමයි. මා ඔබට දෙන අවවාදය නම්, මිනිසුන් සමඟ ගනුදෙනු කිරීමට ඉගෙන ගන්න, දිගටම ඉගෙනගනිමින් තමන්ගේ ක්ෂේත්‍රයේ දැනුම ලබාගන්න. ඒ වගේම වෙනත් දේ කෙරෙහිත් උනන්දුවක් ඇති කරගන්න. ඔබට සිහිනයක් තිබේ නම් එම සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ කරන්න” ෆොන්සේකා මහතා පැවසීය.

    Bedfordshire විශ්වවිද්‍යාලය විසින් මෙහිදී ප්‍රදානය කරන ලද උපාධි අතරට ශාස්ත්‍රවේදී (ගෞරව) ව්‍යාපාර පරිපාලනය, විද්‍යාවේදී (ගෞරව) පරිගණක විද්‍යා හා මෘදුකාංග ඉංජිනේරු සහ විද්‍යාවේදී (ගෞරව) පරිගණක ජාලකරණය යන උපාධි අයත් විය.

    ගෞරවනීය නාවික ඉංජිනේරු / නාවික වාස්තු විද්‍යාඥයෙකු මෙන්ම වෘත්තීය කළමනාකරුවෙකු වන ඉංජිනේරු මංගල පී.බී. යාපා මහතා, “උපාධියත් සමඟ ඔබ ඉමහත් උද්‍යෝගයකින් හා අපේක්ෂාවන්ගෙන් අද දින පිටව යනු ඇති බවට මට කිසිදු සැකයක් නැහැ. එහෙත් එක් දෙයක් මතක තබා ගන්න. ඔබ අද්විතීයයි. සුවිශේෂීයි. එනිසා සමාජයට සහ ලෝකයට ධනාත්මක බලපෑමක් ඇතිකිරීමට ඔබට  පුළුවන්.” යනුවෙන් සඳහන් කළේය.

    2020 උපාධි ප්‍රදානෝත්සවයේදී පිරිනැමුණු හොඳම කාර්ය සාධන සම්මාන (Best Performance awards) කිහිපයකටම මෙරට කර්මාන්ත අංශයේ දැවැන්තයින්ගේ අනුග්‍රහය හිමිව තිබීම ද කැපීපෙනේ.

    සිතුවිලි පුබුදු කරවන සහ උද්‍යෝගය උපදවන දේශන ද සහිතව, 2020 SLIIT උපාධි ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් නිමාවට විය. උපාධි හිමිකරගත් සෑම සිසුවෙකුටම සුබ පැතීමට ද SLIIT හි කාර්ය මණ්ඩලය මෙය අවස්ථාවක් කරගනී.