SLT Zero One සම්මාන උළෙලේදී ikman.lk සම්මාන තුනකින් පිදුම් ලබයි

මෙරට විශාලත ම වෙළඳපලවන ikman.lk, ඩිජිටල් වෙළඳපල තුළ සිය ප්‍රමුඛත්වය තවදුරටත් පිළිබිඹු කරමින් SLT Zero One සම්මාන උළෙලේදී සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට සමත් විය.

මාධ්‍ය සහ ප්‍රකාශන ඛාණ්ඩය යටතේ 'විශිෂ්ටත ම ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන', 'විශිෂ්ටත ම වෙබ් අඩවිය' සහ 'විශිෂ්ටත ම ක්ෂුද්‍ර අඩවිය' සඳහා ikman.lk මෙලෙස සම්මානයට පාත්‍ර විය.

ඩිජිටල්කරණය තුළ විශිෂ්ටත්වය ළඟා කර ගනිමින් මෙරට ආර්ථික වර්ධනයට මෙන් ම සියලු පුරවැසියන් සඳහා වඩාත් යහපත් අනාගතයක් ගොඩනැගීමට කැප වුණු ඩිජිටල් පද්ධති, නවෝත්පාදකයන් සහ ආයතන ඇගයුමට ලක් කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණයි.

ගැනුම්කරුවන්ට මෙන් ම විකුණුම්කරුවන්ට ද අසමසම භාවිත අත්දැකීමක් ලබා දීම සඳහා වෙබ් අඩවියේ සමස්ත සැලසුම, ක්‍රියාකාරීත්වය සහ විශේෂාංග සකස් කර ඇති ආකාරය වෙනුවෙන් ikman.lk සඳහා 'විශිෂ්ටත ම වෙබ් අඩවිය' සහ 'විශිෂ්ටත ම ක්ෂුද්‍ර අඩවිය' යන සම්මාන පිරිනැමිණි.

අන්තර්ජාල වෙළඳපලක් ලෙස ikman.lk, දිවයින පුරා විසිරී සිටින ඕනෑම පුද්ගලයෙකුට වඩාත් පහසුවෙන් ළඟා විය හැකි, පරිපූර්ණ වෙබ් අඩවියක් ලෙස ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය හිමිකර ගෙන සිටී. බාධාවකින් තොරව පහසුවෙන් සහ කඩිනමින් සිය ගනුදෙනු ඉටුකර ගැනීම සඳහා වෙබ් අඩවියේ අසමසම විශේෂාංග රැසක් ඇතුළත් කර තිබීම ද විශේෂත්වයකි.

'විශිෂ්ටත ම ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහන' සඳහා සමස්ත ජයග්‍රහණය හිමිකර ගැනීම තුළින්, ක්ෂුද්‍ර ව්‍යාපාර, තනි පුද්ගලයන්, පවුල් සහ ප්‍රජාව සඳහා යහපත් අනාගතයක් උදා කිරීම වෙනුවෙන් ikman.lk දක්වන අඛණ්ඩ කැපවීම මැනවින් පිළිබිඹු වෙයි.