‘So Sri Lanka Pro 2019’ තරඟාවලියට නිල ගුවන් සේවා සත්කාරකත්වය ශ්‍රීලංකන් වෙතින්

October, 8, 2019

ලෝක සර්ෆ් ලීගය විසින් අරුගම්බේ මුහුදු  තීරයේ සංවිධානය කරන ලද අන්තර්ජාතික සර්ෆින් තරඟාවලිය වන ‘So Sri Lanka Pro 2019’ අතිශය සාර්ථක ලෙස නිමාවට පත්වීම පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සේවය සතුටට පත්වන අතර මෙම තරඟාවලියේ නිල ගුවන් සේවා සහකරු ලෙස ජාතික ගුවන් සේවය වන  ශ්‍රීලංකන් ගුවන් සේවය කටයුතු කරන ලදී.

 

ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වෙරළ තීරයේ සුන්දරත්වයත්, සුදු වැලි සහිත වෙරළ තීරයේ ආකර්ෂණිය බව සහ පොල් ගස් සහිත වෙරළ පරිසරය මෙන්ම උද්වේගකර රළ පහර සමඟින් පැවති  මෙම තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියාවේ මිච් පාකින්සන් (Mitch Parkinson) සමත්විය. එහි දී ඔහු අවසන් මහා තරඟයේ දී ඉන්දුනීසියාවේ ඔනි අන්වර් (Oney Anwar) පරාජයට පත්කරමින් මෙම ජයග්‍රහණය ලබා ගන්නා ලදී. පාකින්සන්ගේ වෘත්තීය සර්ෆින් ක්‍රීඩා දිවියේ ලබාගත් විශාලතම ජයග්‍රහණය මෙය වන අතර එහිදී ඔහු දෙවරක් ලකුණු 10 බැගින් ලබා ගත්තේය.

 

So Sri Lanka Pro 2019’ තරඟාවලිය ලෝක සර්ෆ් ලීග් (WSL) 3000 (QS3000) ඉසව්ව සඳහා සුදුසුකම් ලැබීමේ තරඟ මාලාව යටතේ පැවති අතර ඒ සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, Lanka Sportreizen (LSR), Jeep , Dialog Axiata, ශ්‍රී ලංකා සර්ෆින් සම්මේලනය යන ආයතන සහයෝගය දක්වන ලදී. සැප්තැම්බර් 25 සිට 29 දක්වා පැවති මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට නවසීලන්තයේ Te Kehukehu Butler සහ බ්‍රසීලයේ Victor Bernardo සමත් වූහ.

 

ලෝක සර්ෆ් ලීගය විසින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සර්ෆින් ඉසව් කිහිපයක් සංවිධානය කර ඇති අතර මෙම වසරේ දී මෙම සර්ෆින් තරඟ ඉසව්ව සඳහා හිටපු ලෝක සර්ෆින් ශූර Mark Occhilupo සහභාගී විය. ජාතික ගුවන් සේවය ලෙස ශ්‍රීලංකන් ගුවන් සේවය වසර ගණනාවක සිට  ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන අන්තර්ජාතික රළ ක්‍රීඩා තරඟ සඳහා සහයෝගය සහ අනුග්‍රාහකත්වය ලබාදෙයි. මෙම තරඟාවලිය සඳහා මෙවර රටවල් 20 ක් නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වූ අතර  විදේශීය තරඟ ඉසව් සැප්තැම්බර් මස  23 සිට 29 වන දින දක්වා පැවැත්වීණි. තරඟාවලිය යටතේ පැවිති දේශීය තරඟ ඉසව් සැප්තැම්බර් මස 23-24 දිනවල පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ සර්ෆින් ක්‍රීඩකයින්ට අන්තර්ජාතික ඉසව්ව සඳහා ආදේශක තරඟයක් ලෙස සහභාගී වීමටත්, ඔවුන්ගේ දක්ෂතා ලෝකයේ අනෙකුත් ක්‍රීඩකයින් හා සැසදීමටත් මෙමගින් අවස්ථාව උදාවිය.

 

ශ්‍රීලංකන් ගුවන් සේවය ගෝලීය සංචාරකයින් හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැවත ගොඩනැංවීම සඳහා නොමද සහයෝගය ලබා දෙමින් අරුගම්බේ මුහුදු  තීරයේ පැවති ‘So Sri Lanka Pro 2019’ ජාත්‍යන්තර සර්ෆින් තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.  ලෝක සංචාරක සිතියමෙහි ශ්‍රී ලංකාවේ ස්ථානය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම තරඟාවලියේ ප්‍රධාන අරමුණකි.

 

ශ්‍රීලංකන්  ගුවන් සමාගම  වත්මන්හි  රටවල්  48 ගමනාන්ත  109 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.  වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.

 

ඡායාරූප - ජාත්‍යන්තර ඉසව්වේ ජයග්‍රාහකයා බවට පත් වූ මිච් පාකින්සන්