ශ්‍රී ලංකාවේ කෘෂි පාරිසරික පද්ධතිය අධ්‍යයනයට බවර් සමාගම විදෙස් විශේෂඥ කණ්ඩායමක් ගෙන්වයි

    July, 26, 2021

    කාබනික කෘෂිකර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේ ගමන් මඟට ශක්තියක් ලබාදීම සඳහා මෙරට කෘෂි පාරිසරික පද්ධතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට ස්විට්සර්ලන්තයේ විශේෂඥ කණ්ඩායමක් ගෙන්වීමට, ඒ. බවර් ඇන්ඩ් කොම්පැනි පුද්ගලික සමාගම (බවර්) පියවර ගෙන තිබේ.

    මෙරට කෘෂි පොහොර ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු මෙන්ම විවිධාංගීකරණ ව්‍යාපාර සමූහයක් ලෙස ප්‍රකට බවර් සමාගමේ මැදිහත්වීමෙන් පැමිණෙන මෙම විශේෂඥ කණ්ඩායම එළඹෙන අගෝස්තු 1 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත ය. ඔවුහු ශ්‍රී ලංකාවේ ගත කරන දින 10ක කාලය තුළ මෙරට කෘෂි ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන පාර්ශ්වකරුවන් රැසක් මුණගැසීමටත්, කාබනික කෘෂිකර්මාන්තය හා බැඳුණු ක්ෂේත්‍ර සහ පහසුකම් වෙත සංචාරය කිරීමටත් නියමිත ය. තව ද කාලීන අවශ්‍යතාවක් ලෙස කොම්පෝස්ට් නිෂ්පාදනය හා කාබනික ගොවිතැන පිළිබඳ සිය අත්දැකීම් හුවමාරු කරගැනීමේ විශේෂ පුහුණු වැඩසටහනක් ද ඔවුහු පැවැත්වීමට නියමිත ය.

    රසායනික පොහොර සහ පලිභෝධනාෂක භාවිතය අත්හැරීමට ශ්‍රී ලංකාව තීරණය කළ අවස්ථාවේ සිට, ලෝකයේ ඉහළ පෙළේ ආයතන හා සම්බන්ධ වෙමින් කාබනික කෘෂිකර්මාන්තයට පිවිසීමේ අභියෝගයට අදාළ දැනුම හා විශේෂඥතාව ලබාගැනීමට බවර් ආයතනය කටයුතු කළේය.

    ඒ අනුව කාබනික කෘෂිකර්මාන්ත අංශයේ ලොව ප්‍රමුඛතම ආයතන දෙකක් ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ කාබනික කෘෂිකර්මාන්ත පර්යේෂණ ආයතනය (FiBL) සහ බර්න් ව්‍යවහාරික විද්‍යා විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම, වනාන්තර සහ ආහාර විද්‍යා පාසල (HAFL) සමඟ සහයෝගීතාවකට එළඹීමට බවර් සමාගමට හැකිවිය. එම ආයතන දෙකම, කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ දැනුමින් සන්නද්ධ දෙස් විදෙස් සංවිධාන සමඟ එක්ව කටයුතු කරයි.

    මේ ආකාරයට කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ ප්‍රමුඛ පෙළේ ආයතන පිහිටා ඇති ස්විට්සර්ලන්තය ලොව කාබනික කෘෂි වගාව අතින් ලොව 6වැනි ස්ථානය උසුළයි. ඒ එරට සමස්ත වගාබිම් ප්‍රමාණයෙන් 16.5%ක් කාබනික කෘෂිකර්මාන්තය සඳහා යොදවමිනි. එමෙන්ම ඒක පුද්ගල කාබනික ආහාර ද්‍රව්‍ය පරිභෝජනය අතින් ලොව දෙවැනි තැන උසුළන ස්විට්සර්ලන්තය, ලෝකයේ 7වැනි විශාලතම කාබනික වෙළෙඳපොළ ද වේ.

    FiBL සහ HAFL ආයතන නියෝජනය කරන සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂඥ කණ්ඩායම, ඔවුහු හුදු න්‍යායාත්මක දැනුම පමණක් නොව, ලොව පුරා ක්‍රියාත්මක වන කාබනික කෘෂි ව්‍යාපෘති පිළිබඳ ප්‍රායෝගික දැනුමත්, විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය පිළිබඳ මනා පරිචයක් සමඟ සිය දායකත්වය ලබාදීම යි.

    මෙම කණ්ඩායමේ සාමාජිකයෙකු වන HAFL හි ස්වාභාවික සම්පත් කළමනාකරණ මහාචාර්යවරයෙකු වන ක්‍රිස්ටෝෆ් ස්ටඩර් සතුව ජාත්‍යන්තර කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන රැසක පළපුරුද්ද තිබේ. ඔහු විවිධ පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක සහ උපදේශන සේවා කිහිපයකට තම දායකත්වය ලබාදෙයි. කණ්ඩායමේ තවත් සාමාජිකයෙකු වන ආචාර්ය ගර්බිර් එස් බුලර්, HAFLහි ඝර්ම කලාපීය කෘෂි පාරිසරික පද්ධති පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකි. HAFL සමඟ සම්බන්ධ වීමට පෙර, ඔහු වසර 8ක කාලයක් FiBL හි ඝර්ම කලාපීය තිරසාර කෘෂිකර්මාන්ත අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය. කෘෂිකාර්මික පවුලකින් පැවත එන ඔහු සතුව ආසියානු සහ අප්‍රිකානු කෘෂිකර්මාන්තය පිළිබඳ හසළ දැනුමක් පවතී.

    FiBL හි ශාක ව්‍යාධිවේදය සහ පාංශු ගුණාත්මක භාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු මෙන්ම ශාඛ සෞඛ්‍ය පිළිබඳ ස්විස් සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වන ආචාර්ය ජැක්ස් ජී. ෆූච් ද මෙම විශේෂඥ කණ්ඩායමට අයත් ය. ඔහු කොම්පෝස්ට් පොහොර පිළිබඳ විශේෂඥතාව සහිත සමාගමක් වන Biophyt AG හි ආරම්භකයා ද වේ. කණ්ඩායමට අයත් සිව්වැනි සාමාජිකයා වන පෝල් වැන් ඩෙන් බර්ජ් දැනට FiBL හි කටයුතු කරන අතර, ඊට පෙරාතුව ඔහු තමන්ගේම කාබනික ගොවිපොළක් පාලනය කළේය. කාබනික උද්භිද විද්‍යා බෝග, වෙළෙඳපොළ සංවර්ධනය හා ප්‍රමිති සැකස්ම ආදී ක්ෂේත්‍ර රැසක් පිළිබඳ දැනුම ඔහු සතු ය. හෙතෙම කාබනික කෘෂිකාර්මික ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ (IFOAM) ප්‍රමිති කමිටු සාමාජිකයෙකු ද වේ.

    ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පරිසරය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසුව, විද්‍යාත්මක හා වෘත්තීමය සාක්ෂි පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය වෙනුවෙන් ඒකාබද්ධ සැලැස්මක් ඉදිරිපත් කිරීමට මෙම විශේෂඥ කණ්ඩායම ක්‍රියාකරනු ඇත.

    ඡායාරූපය : ඉහළ වමේ සිට දකුණට) මහාචාර්ය ක්‍රිස්ටෝෆ් ස්ටඩර්, පෝල් වැන් ඩෙන් බර්ජ්, ආචාර්ය ගර්බිර් එස් බුලර් සහ ආචාර්ය ජැක්ස් ජී. ෆූච්