කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නොසලකා හැර ඇත්ද?

May, 31, 2021

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ කුඩා හා මධ්‍යම පරිමාණ පෞද්ගලික රෝහල් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ලබයි. රටේ දැනට ලියාපදිංචි පෞද්ගලික රෝහල් 250 න් 90% කට වැඩි ප‍්‍රතිශතයක් ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල්ය. මෙම රෝහල් මගින් බාහිර රෝගී ප‍්‍රතිකාරවලින් 60% ක් සපුරාලන අතර සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථාවන් පවා ලබා දෙයි. ඒ අතරින් වඩාත් වැදගත් දෙය වන්නේ මහජනතාවට ගුණාත්මකභාවයෙන් යුතු සෞඛ්‍ය සේවාවක් සඳහා පුළුල් ප‍්‍රවේශයක් සහතික කර තිබීමයි.

ශ්‍රී ලංකාව කොවිඞ්-19 වසංගතයට එරෙහිව සටන් කරන විට, බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල්වලට ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන්නන් අඩු වීම හා වසංගතය හේතුවෙන් අමතර වියදම් දැරීමට ද සිදු වීම වැනි හේතූන් නිසා එම රෝහල්වලට නොයෙක් බාධාවන්ට මුහුණ දීමට සිදුව ඇත. මේ හේතුවෙන් රෝහල්වල කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට ප‍්‍රමාණවක් මුදල් නොමැති වීම නිසා ඇතැම් සැපයුම්කරුවන්ට ඔවුන්ගේ සැපයුම් ප‍්‍රමාණ අඩු කිරීමට සිදුව ඇත.

 

කොවිඞ්-19 ප‍්‍රයත්නයන්හිදී කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල්වල කාර්යභාරය

බස්නාහිර පළාත තුළ කොවිඞ්-19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ ‘වෙස්ටර්න් හොස්පිට්ල්’ වැනි කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල් බොහොමයකට වසංගතය හේතුවෙන් දිනෙන් දින අධික පිරිවැයක් දැරීමට සිදුව ඇත.

‘‘කොවිඞ්-19 වසංගතය ආරම්භ වූ දා සිටම ප‍්‍රතිකාර ලබා ගැනීමට අපගේ රෝහලට පැමිණෙන්නන්ගේ ප‍්‍රමාණය 40%කින් අඩු වුනා.අප මසකට රෝගීන් 2000කට වෛද්‍ය සේවා සපයනු ලැබු අතර ඒ අතර වකුගඩු ආශ‍්‍රිත ඩයලයිසිස් ප‍්‍රතිකාර මත යැපෙන රෝගීන්ද සිටියා.’’ යනුවෙන් වෙස්ටර්න් හොස්පිට්ල් හි ප‍්‍රධාන විධායක නිළධාරී  ඕමාර් ෂෙරිෆ් මහතා පැවසුවේය.

කොවිඞ්-19 ආරක්ෂිත රෙගුලාසි හා මාර්ගෝපදේශ අනුගමනය කරමින් රෝහල එහි තිබෙන කාමර හා හෙද නේවාසිකාගාර කොවිඞ්-19 ආසාදිත යැයි සැක සහිත පුද්ගලයින් සඳහා හුදකලා ඒකක බවට ද පරිවර්තනය කර තිබේ.

‘‘අපගේ කාර්ය මණ්ඩලය සුරක්ෂිතව තබා ගැනීම සහතික කරගැනීම සඳහා අප ආරක්ෂිත පියවර ගනු ලැබූ නමුත් එහිදී අධික වියදමක් දැරීමට සිදු වෙනවා. මෙම වසංගතය පාලනය කිරීම සඳහා අපගේ සේවක මණ්ඩලයද ඉදිරියෙන්ම සිටිමින් කටයුතු කරන බැවින් කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල්වලට අවශ්‍ය පුද්ගල ආරක්ෂක උපකරණ කට්ටල (PPE) සහනදායී මිලකට සැපයීමෙන් හා කොවිඞ්-19 ආසාදිතයින් පෞද්ගලික රෝහල්වල සිට නියම කර ඇති රජයේ ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට රජයට සහාය විය හැකි නම් බොහෝ අගය කොට සලකනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

මූල්‍ය ආධාර සහ කුසලතාවලින් යුතු ප‍්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීම

අවිස්සාවේල්ලේ පිහිටි ගෝමස් පෞද්ගලික රෝහල ද අනෙක් බොහෝ කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල් මෙන් ප‍්‍රධාන ගැටලූ දෙකකට මුහුණු දී සිටී. එනම් වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ලබා ගත් ණය නැවත ගෙවීමට ඇති දුෂ්කරතාව හා විශේෂයෙන්ම මෙම කොවිඞ්-19 වසංගත කාලය අතරතුර කුසලතාවලින් යුතු කාර්ය මණ්ඩලයක් සොයා ගැනීමේ අපහසුතාව වැනි කරුණු පෙන්වා දිය හැකිය. එම ප‍්‍රදේශයේ ඇති පුරෝගාමී පෞද්ගලික රෝහලක් ලෙස ප‍්‍රදේශයේ ජනතාවගෙන් අවම වශයෙන් 30-40% ප‍්‍රමාණයක් වෛද්‍ය සේවා ලබා ගන්නේ ගෝමස් පෞද්ගලික රෝහලින්ය.

ජනතාව පෞද්ගලික රෝහල් යැයි පවසන විට, ඔවුන් සෑමවිටම අවධානය යොමු කරන්නේ විශාල රෝහල් කිහිපයක් වෙතයි. කෙසේවෙතත්, පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල් බොහොමයක් පවතින අතර ජාතික සෞඛ්‍ය පද්ධතියට අප ලබා දෙන සහයෝගය කිසිදා ඇගයීමට ලක්වන්නේ නෑ.’’ යනුවෙන් ගෝමස් පෞද්ගලික රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය සඳමාලි වීරසිංහ මහත්මිය පවසයි.

‘‘කුඩා හා මධ්‍ය පරිමාණ රෝහල් බොහොමයක් විශේෂ කැපවීමකින් හා සැලකිල්ලකින් රෝගීන්ට ප‍්‍රතිකාර කරනු ලබන අතර ඒවා කළමනාකරණය කරනු ලබන්නේ බොහෝ පළපුරුදු හා ප‍්‍රවීණ වෛද්‍යවරුන් විසින්ය. අඛණ්ඩව ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා අපට ප‍්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් අවශ්‍යයි. විශේෂයෙන්ම එක්ස්-රේ අංශය, රසායනාගාර තාක්ෂණවේදීන් සහ විශේෂ දැනුමක් හා කුසලතාවක් සහිත හෙදියන් ආදී වශයෙන් පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ කුසලතාවන්ගෙන් යුත් සේවකයින්ගේ හිඟයක් තිබෙනවා.” වෛද්‍ය වීරසිංහ මහත්මිය සඳහන් කළාය.

 

මෙය සාර්ථක කරගත හැක්කේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය තුළින්ය

දකුණු මුහුදු තීරයේ, ගාල්ල ප‍්‍රදේශයේ පිහිටි රුහුණු රෝහල ද මෙම වසංගතය හේතුවෙන් අභියෝගවලට මුහුණ දී සිටින තවත් කුඩා හා මධ්‍ය පරිමාණයේ පෞද්ගලික රෝහලකි. කෙසේවෙතත්, රුහුණු රෝහලේ සම-ප‍්‍රධාන විධායක නිලධාරී රවීන් වික‍්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ, කුඩා හා මධ්‍ය පරිමාණ පෞද්ගලික රෝහල්වල අනාගතය පිළිබඳව ඔහු උපේක්ෂාවෙන් බලා සිටින බවයි. රටේ සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ කුඩා හා මධ්‍ය පරිමාණ පොෟද්ගලික රෝහල්වල පවතින සම්පත් උපයෝගී කර ගනිමින් ඵලදායී හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට හැකි හොඳම ක‍්‍රමය වන්නේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය (PPPs) තුළින් බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

‘‘අප වැනි රෝහල්වල පවතින සම්පත් උපයෝගී කර නොගත් අවස්ථා තිබෙනවා. රජයේ රෝහල් පූර්ණ ධාරිතාවයෙන් ක‍්‍රියාත්මක වන විට රජය සමඟ කටයුතු කළ හැකි යාන්ත‍්‍රණයක් තිබේ නම් අප වැනි පෞද්ගලික රෝහල්වල ඇති ඇතැම් පහසුකම් සහනදායී මිලකට ලබා දෙමින් ජාතික සෞඛ්‍ය පද්ධතිය මත පැටවී තිබෙන බර අවම කර ගැනීමට හැකි වනු ඇත.’’

පිළිකා වැනි රෝගාබාධවලට ප‍්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය විශේෂිත වෛද්‍ය උපකරණවල පවතින හිඟයට විසඳුමක් ලබා දිය හැක්කේ සෞඛ්‍ය සේවාවල යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ආයෝජනය කිරීමට සූදානම් ආයතන සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය උපරිම ලෙස භාවිතා කරමින් කටයුතු කිරීමෙන් බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.

 

මධ්‍යස්ථව කටයුතු කිරීම

සාම්ප‍්‍රදායික පෞද්ගලික සෞඛ්‍ය සුව සේවා ආයතනයකට වඩා තරමක් වෙනස් ආකාරයකින් කටයුතු කරන කුරුණෑගල සමුපකාර රෝහලේ කතාව ඊට වඩා වෙනස් ය.

කුරුණෑගල සමූපකාර රෝහලේ සභාපති ජයපත්ම වන්නිනායක මහතා පවසන්නේ සමූපකාර රෝහලක් බවට පත් වීමේ ප‍්‍රධාන අරමුණ වන්නේ කුරුණෑගල ප‍්‍රදේශවාසීන්ට හා විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත්වන්නන්ට සහනදායී මිලට අවශ්‍ය ප‍්‍රතිකාර ලබා දීම බවයි.

‘‘සාමාජිකත්වය පදනම් කරගත් ව්‍යාපාරික ආකෘතියක් අනුගමනය කරන සමූපකාර රෝහල් 14ක් දැනට ශ්‍රී ලංකාව පුරා තිබෙනවා. එමනිසා පෞද්ගලික සුව සේවා පහසුකම් ලබා ගත නොහැකි පුද්ගලයින්ට උපකාර කිරීම සඳහා අප කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. ඒවගේම විවිධ ප‍්‍රදේශවල අප වෛද්‍ය රසායනාගාර සේවා කිහිපයක් ද පිහිටුවා තිබෙන අතර පුද්ගලයින්ට පහසුවෙන් ප‍්‍රවේශ වීමට නොහැකි ප‍්‍රදේශවල ජංගම සායනික සේවා පහසුකම් ද ලබා දෙනු ලබනවා.’’

වන්නිනායක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ආකෘතිය හරහා විශේෂයෙන්ම හෙද අංශයේ හා රසායනාගාර තාක්ෂණවේදීන් ලෙස ප‍්‍රදේශයේ තරුණ තරුණයින්ට බොහෝ රැකියා අවස්ථා නිර්මාණය වී ඇති බවයි.

 

කුඩා හා මධ්‍යම පරිමාණයේ පෞද්ගලික රෝහල් ඉදිරියට පවත්වාගෙන යාම

ලංකා වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සහකාර මහලේකම් චන්ද්‍රරත්න විතානගේ මහතා සඳහන් කරන්නේ කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමකට ලක් වූ එක් ක්ෂේත‍්‍රයක් වන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් මෙරට රැකියාවලින් 45%ක් සඳහා දායකත්වය ලබා දෙන බවයි.

‘‘මෙම වසංගතය නිසා ඇති වූ අවිනිශ්චිත තත්වයත් සමඟ ආරම්භ කළ විවිධ ව්‍යාපාරවල ආදායම අඩු වූ ආකාරය අප දුටුවා. එයින් දැඩි බලපෑමකට ලක්ව තිබුණේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත‍්‍රයයි. ව්‍යාපාර 3000කට වැඩි සංඛ්‍යාවක් යොදා ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පසුගිය වසරේ සිදු කළ සමීක්ෂණයකින් සොයා ගනු ලැබුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 53%ක් සම්පූර්ණයෙන් නැවතී ඇති බවත් ව්‍යාපාරවලින් 5%කට වඩා අඩු ප‍්‍රමාණයක් සම්පූර්ණ ධාරිතාවකින් කටයුතු කර ඇති බවත් ඉතිරිය සාමාන්‍ය ධාරිතාවට වඩා අඩුවෙන් ක‍්‍රියාත්මක වී ඇති බවත්ය.’’ යනුවෙන් විතානගේ මහතා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම තීරණාත්මක කාල පරිච්ෙඡ්දයේදී රටේ ආර්ථිකය නැවත නගා සිටුවීමට වැදගත් වන රාජ්‍ය-පුද්ගලික හවුල්කාරීත්වය දිරිගැන්වීම සඳහා මෙය කදිම අවස්ථාවක් ලෙස සැලකිය යුතු බවයි.