ගංවතුරින් විපතට පත් ප‍්‍රජාවට සහාය වීමට එයාර්ටෙල් වෙතින් සන්නිවේදන පහසුකම්

June, 9, 2021

පවතින හදිසි ආපදා තත්වයට ප‍්‍රතිචාරයක් වශයෙන් ගංවතුරින් පීඩාවට පත් ප‍්‍රදේශවල ජීවත් වන සිය පරිශීලකයින්ට නොමිලේ ඇමතුම් කාල හා ඬේටා පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව එයාර්ටෙල් ලංකා සමාගම නිවේදනය කර ඇත.

රුපියල් මිලියන 8කට අධික වටිනාකමින් යුත් සහන ලබා දෙමින් ගංවතුරින් දැඩි ලෙස පීඩාවට පත් ජනතාවට සන්නිවේදන පහසුකම් ලබා දීම සඳහා 2021 ජුනි 07 වනදා සිට අඛණ්ඩව දින පහක් දිනපතා දීමනා ලබා දෙන බව එයාර්ටෙල් සඳහන් කළේය. මෙමගින් ඔවුන්ගේ ආදරණීයයන් සහ අත්‍යවශ්‍ය සේවා සමඟ සම්බන්ධතාවන් පවත්වා ගත හැකි බව එයාර්ටෙල් විශ්වාසය පළ කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමනාකාර අධ්‍යක්ෂ අශීෂ් චන්ද්‍රා මහතා ‘‘වගකිව යුතු සන්නිවේදන ආයතනයක් ලෙස ජනතාව විපතට පත්වන අවස්ථාවලදී ඔවුන්ට සහන සැලසීම සඳහා ඉක්මනින් පියවර ගත යුතු බව අප විශ්වාස කරනවා. වසංගතයක්, රට අගුළු දැමීම හා ගංවතුර ආදී අවාසනාවන්ත තත්වයන් සමඟ එකවර කටයුතු කිරීම අතිශයින් දුෂ්කර බව අප හොඳින් දන්නවා. එනිසා මෙවැනි අසීරු අවස්ථාවකදී මෙම සහන ඒවා අත්‍යාවශ්‍ය අයට උපකාරී වනු ඇතැයි අප විශ්වාස කරනවා.’’ යනුවෙන් පැවසුවේය.

ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුරය, පුත්තලම හා නුවරඑළිය යන දිස්ත‍්‍රික්කවල ගංවතුරින් පීඩාවට පත් ප‍්‍රදේශවල මෙම සන්නිවේදන පහසුකම් ලබා දීමට එයාර්ටෙල් දැනටමත් කටයුතු කර ඇත.