පාම් තෙල් යනු ගැටලුවක්ද? විසඳුමක්ද?

July, 7, 2021

පාම් තෙල් (පාම් ඔයිල්) යනු ආහාරයට ගතහැකි එළවලු තෙල් වර්ගයකි. එය ලොව වැඩියෙන්ම පරිභෝජනය කරනු ලබන තෙල් වර්ගයද වේ. පාම් තෙල් සම්බන්ධයෙන් පොදු ජනතාව අතර පවතින අදහස කුමක් වුවද, ඔයිල් පාම් යනු ලොව වඩාත්ම තිරසාර සහ, ආර්ථික වශයෙන් ඵලදායී වගාවන්ගෙන් එකකි. ලොව එළවලු තෙල් වගා බිම් වලින් ඔයිල් පාම් වගාව සඳහා යොදාගැනෙන්නේ 5% ක් පමණක් වුවද, ලොව එළවලු තෙල් සැපයුමෙන් 38% ක්ම සමන්විත වන්නේ පාම් තෙල් වලිනි. නිතැතින්ම, සෝයා බෝංචි, සූරියකාන්ත හෝ රේප්සීඩ් තෙල් වලට සාපේක්ෂව පාම් තෙල් 10 ගුණයක් වැඩියෙන් ඵලදායී වේ (හෙක්ටයාරයකට).

වර්තමානයේ ආහාරයට ගතහැකි සෑම දෙයක්ම දේශීයව නිපදවා ගත යුතුව පවතින තත්ත්වයක් තුළ, පාම් තෙල් යනු අපට ඇති වඩාත්ම තිරසාර, ලාභදායී සහ වගකීම් සහගත තෝරාගැනීමක්  ලෙස සැලකිය හැකි ය. එම නිසා, පාම් තෙල් සම්බන්ධයෙන් සුලබව නැගෙන චෝදනා සහ, එම චෝදනා වල සත්‍ය තත්ත්වය මඳක් විමසා බලමු.

 

පාම් තෙල් සම්බන්ධයෙන් ප්‍රකට, එහෙත් පදනම් විරහිත මත

' පාම් ඔයිල් වගාව නිසා වනාන්තර ආවරණය අඩු වේ.'

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට මෙය මුළුමනින්ම අසත්‍යයකි. ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාව නියාමනය කර ඇති අතර, පාම් ඔයිල් වගාවන් සඳහා ස්වාභාවික වනාන්තර එළිපෙහෙළි කිරීම සපුරා තහනම් ය. දැනටමත් වගාවන් සඳහා භාවිතා වන, එහෙත් පොල් හෝ රබර් වගාවන් සඳහා නුසුදුසු (වාර කිහිපයක් වගා කරන ලද හෝ කිසියම් රෝගයක් නිසා අස්වනු හානි වූ) ඉඩම් ඔයිල් පාම් වගාව සඳහා භාවිතා කළ හැක. එම නිසා තෙත් කලාපයේ මුහුදු මට්ටමේ සිට මීටර් 300 කට අඩු උසකින් පිහිටි, යෝග්‍යතාව සලකා බැලීමේදී වෙනත් වගාවක් සඳහා භාවිතා කළ නොහැකි නිසා අත්හැර දමනු ලැබීමට අවකාශ තිබූ  ඇතැම් ඉඩම්, ඔයිල් පාම් වගාව සඳහා යොදාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාවට වසර 50 කට වැඩි ඉතිහාසයක් ඇති නමුත් කිසිදු අවස්ථාවක ස්වභාවික වන බිම් එම වගාවන් සඳහා භාවිතා කර නොමැත.

'පාම් ඔයිල් වගාව නිසා වර්ෂාපතනයට බලපෑම්  එල්ල වන අතර, භූගත ජලය සිඳී යයි. '

මෙය සාවධ්‍ය අදහස් පදනම් කරගත් අසත්‍යයකි.

සාමාන්‍යයෙන් රබර් ගසක් දිනකට ජලය ලීටර් 63 ක් ලබාගන්නා අතර පාම් ඔයිල් ගසක් ලීටර් 249 ක් ලබාගනී. එහෙත් මෙම තර්කය තුළ සාමාන්‍යයෙන් හෙළි නොකරනු ලබන සාධකය නම්, මෙම වගාවන්ගේ හෙක්ටයාරයකට  පැළ සිටුවන ප්‍රමාණය (Plant density) සපුරාම වෙනස් බවයි. මෙම සාධකය සැලකිල්ලට ගත් පසු, ජල පරිභෝජනය ගණනය කළ යුත්තේ වගා කරන ලද හෙක්ටයාරයකට වන අතර, එවිට මෙම වගාවන් දෙක අතර ජල පරිභෝජනයේ වෙනස අවම වේ. එලෙස සලකා බලන විට, රබර් සඳහා හෙක්ටයාරයකට ජල පරිභෝජනය ලීටර් 31,500 ක් වන අතර, පාම් ඔයිල් සඳහා හෙක්ටයාරයකට ලීටර් 34,680 කි.

භූගත ජලය සම්බන්ධයෙන් ගත්විට, පාම් ඔයිල් වගාකරනු ලබන්නේ වාර්ෂික මධ්‍යන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 3,500 ට වැඩි ප්‍රදේශ වල ය. මේ අතරින් පාම් ඔයිල් ශාක මගින් පරිභෝජනය කරනු ලබන්නේ මිලිමීටර් 1,300 ක් පමණ වන අතර එම නිසා ජලය සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් පැන නොනගී. ඇත්ත වශයෙන්ම, ගාල්ල ප්‍රදේශයේ වසර 50 කට අධික කාලයක් සිදුකරන ලද පාම් ඔයිල් වගාව සම්බන්ධ දත්ත අප සතු ය. එම දත්ත වලට අනුව පාම් ඔයිල් වගාව නිසා ජලය හිඟවීම සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් හෝ වාර්තාවක් ඉදිරිපත් වී නොමැත.

 

'පාම් ඔයිල් වගාව පරිසරයට අහිතකර වන අතර අධික ලෙස රසායනික පොහොර භාවිතා කරයි.'

රබර් වගාවට වඩා පාම් ඔයිල් වගාවට පොහොර අවශ්‍ය වන නමුත්, පාංශු සහ පත්‍ර විශ්ලේෂණ ක්‍රමවේදය මගින්, පරිසර හිතකාමී ඒකාබද්ධ පලිබෝධකරණය යටතේ යොදන, වගා ස්ථානයේ තත්ත්වයන්ට ගැළපෙන පොහොර භාවිතයෙන් මෙම තත්ත්වය පාලනය කළ හැක. (Goh සහ වෙනත් අය., 2009). පාම් තෙල් කර්මාන්තය තුළ නිපදවෙන ඝන අපද්‍රව්‍ය කාබනික පොහොර ලෙස මෙන්ම පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සඳහාද යොදාගත හැකි වේ. මෙමගින් බොහෝ විට පාම් තෙල් කර්මාන්තශාලා වලට අවශ්‍ය බලශක්තිය එම කර්මාන්තශාලා පරිශ්‍ර වලදීම නිපදවාගත හැකි වන අතර, 90% ත් 95% ත් අතර මට්ටමකට රසායනික වලින් තොර ජලය ලෙසද භාවිතයට ගතහැකි වේ (Sung, 2016).

සැබෑවටම, යථාර්ථය වන්නේ, යහපත් කෘෂිකාර්මික ක්‍රමවේදයන්ට අනුව සිදුකළ විට, පාම් ඔයිල් වගාව නිසා  පරිසරයට කිසිදු අහිතකර බලපෑමක් එල්ල නොවන අතර, එමගින් හරිතාගාර වායු අවම කිරීම, පස සංරක්ෂණය කිරීම සහ ස්වාභාවික ජල චක්‍රයට සක්‍රියව දායක වීම සිදුකරන පරිසරයට ඉතා යහපත් ක්‍රියාවලියක් බවයි. එමෙන්ම පාම් ඔයිල් වලට සාමාන්‍යයෙන් දිලීර රෝග සහ පළිබෝධ ගැටලු වලින් හානි සිදුවීමේ ඉඩකඩ අවම වන අතර, පාම් ඔයිල් වගාව තුළ එම ගැටලු පාලනය කිරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදයන් පොල් වගාවේදී භාවිතා කරන ජීව පාලන ක්‍රමවේදයන් ඇතුළු සියලු ක්‍රමවේදයන්ට සමාන වේ.

'එය තේ, පොල් රබර් වැනි 'යහපත්' භෝග වලට තර්ජනයකි.'

ශ්‍රී ලංකාවේදී තේ, රබර් හෝ පොල් වගාවන්ට පාම් ඔයිල් වගාවෙන් කිසිදු තර්ජනයක් නැත. වැවිලි කළමනාකරණ නිරීක්ෂණ අංශය (Plantation Management Monitoring Division-PMDD) ට අනුව, පවතින නීති අනුව පාම් ඔයිල් වගාකළ හැක්කේ හෙක්ටයාර 20,000 ක්, එනම් රටේ කෘෂිකාර්මික කටයුතු වලට භාවිතා කරන ඉඩම් වලින් 3% ක් දක්වා පමණි. මෙම තත්ත්වය ඉදිරියේදී වෙනස් වුවත්, මෙරට නිසි පරිදි භාවිතා නොවන ඉඩම් බහුලව ඇති අතරමැදි දේශගුණික කලාපයේ රබර් සහ පොල් හොඳින් වගාකළ හැකි අතර, පාම් ඔයිල් වගාකළ හැක්කේ තෙත් කලාපයේ පමණි. එම නිසා ඉහත භෝග වලට පාම් ඔයිල් වගාවෙන් කිසිදු තර්ජනයක් නැත. එමෙන්ම සියලු වැවිලි භෝග පොල් පර්යේෂණ ආයතනය හෝ රබර් පර්යේෂණ ආයතනය වැනි අදාළ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශයන්ට අනුකූලව වගාකරනු අතර, පාම් ඔයිල් ස්වභාවිකකරණය කරන ලද වනාන්තර ශාක විශේෂයක් බවද මතක තබාගත යුතු වේ.

 

 

'පාම් ඔයිල් වගාව නිසා පාංශු ඛාදනය සිදු වේ.'

නැත. වගාවන් හේතුවෙන් පාංශු ඛාදනය හෝ නායයෑම් සිදු නොවේ. එය සිදුවනුයේ වැරදි පාංශු කළමනාකරණය හේතුවෙනි. පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශ අනුව, අංශක 23 කට අඩු බෑවුම් සහිත බිම් වල පාම් ඔයිල් වගා කරනු ලැබේ.  අධික බෑවුම් සහිත භූමියක් වගාවන් සඳහා භාවිතා කරන්නේ නම්, ප්‍රධාන බෝග සහ යහපත් කෘෂි විද්‍යාත්මක ක්‍රමවේදයන් යොදා ගන්න බැවින් නිසි පාංශු සංරක්ෂණ විධික්‍රම (සමෝච්ඡ රෝපණය, ගල් ඇතිරීම, සමෝච්ඡ සහ ප්‍රධාන කාණු, බිම් ආවරණය, සජීවී බඩවැටි වැනි) අනුගමනය කිරීම අනිවාර්ය වේ. මෙම විධික්‍රම නිසා පාම් ඔයිල් වගාව හේතුවෙන් පාංශු ඛාදනය සිදුවීමේ ඉඩකඩ මුළුමනින්ම පාහේ ඇහිරී යයි.

 

පාංශු ඛාදනය පිළිබඳ මිථ්‍යාවට පදනම් වී ඇත්තේ, ස්වාභාවික වනාන්තර පාම් තෙල් වගාවන් බවට පරිවර්තනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාංශු ලක්ෂණ වල සිදුවන වෙනස්කම් පිළිබඳව විමර්ශනය කරන ලද ජාත්‍යන්තර අධ්‍යයන කිහිපයකි. මෙය පාම් ඔයිල් වලට පමණක් නොව, ඕනෑම භෝග වගාවකට අදාළ ය. ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාකිරීමට අවසර ඇත්තේ සාම්ප්‍රදායික භෝග, සිය ආර්ථික ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමෙන් පසුව ඉතිරිවන ඉඩම් වල පමණක් නිසා මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට අදාළ නැත.

දැනටමත්, රබර් අස්වනු වාර 5 ක් පමණ සම්පුර්ණ කරන ලද, එනම් ආර්ථික ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමෙන් පසුව එම ඉඩම්පාම් ඔයිල් වගා කරන ඉඩම් බවට පරිවර්තනය කෙරෙමින් පවතින අතර, එලෙස සැලසුම් සහගතවීම ආරම්භ කිරීමම පිළිගත් සහ, පැහැදිලි ප්‍රතිලාභ අපේක්ෂිත  නිවැරදි කෘෂිකාර්මික ක්‍රමවේදයකි.

 

ගැටලුවක් නොව විසඳුමකි

ශ්‍රී ලංකාව දැනට මුහුණ දී සිටින ආර්ථික අභියෝග විශාල ප්‍රමාණයක් වේ. ඒ අතරින් ආහාරයට සුදුසු තෙල් හිඟ වීම මෙන්ම, වගා කල හැකි ඉඩම්වල පාංශු තත්ත්වයන් අදායම් උපයන ප්‍රධාන භෝගයන් සදහා යොදා ගත නොහැකි මට්ටමක පැවතීම, රසායනික පොහොර පාලනය වැනි ගැටලු රාශියක් උද්ගත වී ඇති බව අප සැමටම නොරහසකි. එමෙන්ම රටේ වගාවන් සම්බන්ධයෙන් ගත් විට, භෝග විවිධාංගීකරණය කිරීම සහ නව භෝග වර්ග වගා කිරීම අවශ්‍ය වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ, පාම් ඔයිල් වගාව පිළිබඳව ඉහත සඳහන් කරුණු පැහැදිලිව අවබෝධ කරගත් විට, ඕනෑම මැදහත් නිරීක්ෂකයෙකුට පෙනී යන දෙයක් නම්, අඩු තරමින් ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ, පාම් තෙල් යනු ගැටලුවක් නොව, ඉහත ගැටලු සඳහා භාවිතා කළ හැකි තිරසාර, ඵලදායී විසඳුමක් බවයි.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපිලේඛන:

Chung, G.F. 2012. Effect of Pests and Diseases on Oil Palm Yield. Palm Oil. pp 163-210.

 

Goh, K.J., Ng, P.H.C., Lee, C.T. 2009. Fertilizer Management and Productivity of Oil Palm in Malaysia. BioTechnology and Sustainability.

Naan Danjain Irrigation C.S Ltd Israel. 2011.

Kaniapan S., Hassan S., Ya H., Nesan P.K. 2021. The Utilisation of Palm Oil and Oil Palm Residues and the Related Challenges as a Sustainable Alternative in Biofuel,

Bioenergy, and Transportation Sector: A Review. Mechanical Engineering Department, pp.1-25.

 

Sung C.T.B. 2016. Availability, use, and removal of oil palm biomass in Indonesia. Dept. Land Management, Fac. of Agriculture, Uni. Putra Malaysia

 

Seneviratne P., Hitinayake G., Arachige N., Silva A., Manthrinayake S., Dharmasena P., Karunarathne A.G.D.L., Ranasinghe S. 2018. A study to identify environmental and social issues of oil palm cultivation in Sri Lanka. Central Environmental Authority.

 

Voora, L., Bermudez, B. 2019. ‘Global Market Report: Palm Oil’. The International Institute for Sustainable Development.

 

ලිපිය:

 

ආචාර්ය චතුර රොඩ්රිගෝ (Ph.D)

 

කෘෂිකර්ම හා පරිසර ආර්ථික විද්‍යා

 

නිර්මාතෘ

හරිත අවකාශ උපදේශක

අංක 294/14, හන්ස ගිරි පාර,

ගම්පහ,

ශ්‍රී ලංකාව.

 

දුරකථන: 94 33 22 25653, 94 770210777, 94 77 693 6449

 

විද්‍යුත් තැපෑල: chatura_rodrigo@yahoo.com

 

https://chaturarodrigo.wordpress.com/

Video Story

Stock Market

Exchange Rates