රයිනෝ සමූහ ව්‍යාපාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන්ටිලේටර් යන්ත්‍ර 8ක පරිත්‍යාගයක්

June, 9, 2021

අඩ සියවසකට අධික කාලයක් තිස්සේ මෙරට ජනතාවට සේවය සලසන රයිනෝ සමූහ ව්‍යාපාරය, COVID-19 රෝගය මැඩලීමේ සටන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, මිලියන 10 කට අධික වටිනාකමකින් යුත් දැඩි සත්කාර ඒකක වෙන්ටිලේටර් යන්ත්‍ර (ICU Ventilators) 8 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය.

ජනතාවගේ සහ පරිසරයේ යහපත අරමුණු කරගත් සමාගමක් වශයෙන්, මෙරටට විවිධාකාරයේ විපත් වලට මුහුණ දීමට සිදුවූ අවස්ථා වලදී ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමට රයිනෝ සමූහ ව්‍යාපාරය සෑම විටම ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාව සුනාමි උවදුරට ගොදුරු වූ අවස්ථාවේදී මෙන්ම අරණායක ප්‍රදේශයේ නායයාම් සිදුවූ අවස්ථාවේදීද ජනතාවට සහය වෙමින්, ඔවුන්ගේ ජීවිත යළි නගාසිටුවීම සඳහා අත්වැලක් වීමට රයිනෝ සමූහය කටයුතු කළේ ය.
වෙන්ටිලේටර් යන්ත්‍ර ප්‍රදානය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, රයිනෝ සමූහ ව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂ ඊ. ජේ. ඥානම් මහතා මෙසේ පැවසී ය. "වගකීම් සහගත සමාගමක් ලෙස, පසුගිය වසර 60 කට ආසන්න කාලය පුරාම, දුෂ්කර අවස්ථාවන් හිදී දැයට අත්වැලක් වීමට රයිනෝ සහ එහි අනුබද්ධ සමාගම් කටයුතු කර තිබෙනවා. මේ වනවිට ශ්‍රී ලංකාව සිටින්නේ තම ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම අර්බුදය වන COVID-19 වසංගතයට මුහුණ දෙමිනුයි. මෙම රෝගය හේතුවෙන් දැනටමත් ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. ඔවුන් සුවපත් කිරීම සඳහා ඔක්සිජන් වෙන්ටිලේටර් යන්ත්‍ර අත්‍යවශ්‍ය වී පවතින මේ මොහොතේ, දැනටමත් වෙහෙස නොබලා රෝගීන් වෙනුවෙන් කැපවී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සවියක් වෙමින්, මේ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වෙන්ටිලේටර් යන්ත්‍ර 8 ක් පරිත්‍යාග කිරීමට හැකිවීම අපට සතුටක්."
රයිනෝ සමූහ ව්‍යාපාරය තම කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ සමීපතමයන් COVID-19 රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා රැකියා ස්ථානය තුළ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරයි. එමෙන්ම රෝගය වළක්වා ගන්නා ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද මහජනයා දැනුවත් කිරීමට සමාගම පියවර ගෙන තිබේ. COVID-19 පළමු රැල්ල ව්‍යාප්ත වූ අවස්ථාවේදී තම ඒකල කර්මාන්තශාලාවේ කාර්ය මණ්ඩලයේ සහයෝගය සමගින් ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ ජනතාව අතර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමටද රයිනෝ සමූහය කටයුතු කළේ ය.

මේ මොහොතේ තම සහෝදර ජනතාවගේ සහ පරිසරයේ යහපත වෙනුවෙන් පෙරට එන ලෙසත්, ආදර්ශමත් ලෙස කටයුතු කරමින් සිටින දේශීය සමාගම් හා සන්නාම වලට දිගින් දිගටම සහයෝගය දක්වන ලෙසත් රයිනෝ සමූහය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ එදිනෙදා ජීවිතය ඉක්මනින්ම නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වේවා යන්නත්, ඔවුන්ට යළිත් කිසිදු දිනයෙක මෙවන් ආපදාවකට මුහණ පෑමට සිදු නොවේවා යන්නත් සමාගමේ ඒකායන ප්‍රාර්ථනා වේ.

1962 වසරේදී සුළු පරිමාණයෙන් ආරම්භ වූ රයිනෝ රූෆිං ප්‍රඩක්ට්ස් සමාගම මේ වනවිට රටේ ප්‍රමුඛතම වහල සෙවිලි කිරීමේ විසඳුම් පිරිනමන සමාගම බවට පත්වී ඇත. දශක ගණනාවක් තිස්සේ එම සමාගම ඉහළම ප්‍රමිතියෙන් යුත් සෙවිලි තහඩු සහ අනෙකුත් නිෂ්පාදන හඳුන්වා දෙමින් මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට මිල කළ නොහැකි දායකත්වයක් ලබාදෙමින් සිටී.