සෙලාන් බැංකුව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා බදුගෙවීම් හා ප්‍රතිලාභ පිළිබඳ දැනුවත් කෙරෙන වෙබ් සම්මන්ත්‍රණයක් පවත්වයි

May, 3, 2021

මෙරට ආර්ථික ක්‍රියාවලියට වැදගත් සහයෝගයක් ලබා දීමේ උත්සාහයක්

සුහද හදක් ඇති දේශීය බැංකුව සෙලාන් බැංකුව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය (SME) වෙනුවෙන් සංවිධානය කරනු ලබන වෙබ් සම්මන්ත්‍රණ (webinar) මාලාවෙහි නවතම වැඩසටහන පසුගියදා පවත්වන ලදී. “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා බදුකරණ ක්‍රියාවලිය හා කොවිඩ් 19 කාලසීමාව තුළ ලබා දුන් සහන” යන තේමාව යටතේ මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනි. SME ක්ෂේත්‍රය පිළිබඳව සෑම විටම වැඩි අවධානයකින් කටයුතු කරන සෙලාන් බැංකුව රටේ ආර්ථික ක්‍රියාවලියට එමගින් ලැබෙන සවිබලය පිළිබඳව ඉහළ තක්සේරුවක් ඇති බැංකුවකි. එම ක්ෂේත්‍රයෙහි නිරත ව්‍යාපාරිකයින්ගේ දැනුම වර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන සෙලාන් බැංකුව නිරන්තරවම මෙවැනි වැඩසටහන් හරහා  හොඳම විසඳුම් ලබා දීමට සැලකිලිමත් වේ.

 

ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් සමාගමේ බදු සේවා ජ්‍යෙෂ්ඨ උපදේශිකා හා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් දීපානි හේරත් මිය විසින් මෙම සම්මන්ත්‍රණය මෙහෙයවන ලදී. බදුගෙවීමට දායක වීමේ වැදගත්කම හා හිඟ බදු මුදල්  පිළිබඳව තොරතුරු ලබාගැනීමට අදාලව SME ගනුදෙනුකරුවන් වෙත දැනුම ලබා දීම මෙම වෙබ් සම්මන්ත්‍රණය මගින් ඉලක්ක කර තිබුනි. එහිදි සහන ලබාදීමේ ප්‍රතිපාදන වෙන්කිරීම පිළිබඳව පැහැදිලි කිරීම් සිදුකරන ලද අතර,  අදාල ආයතන විසින් සිදුකරන ලද බදු සහන භාවිතා කිරීම සඳහා අවශ්‍ය අනුබලයන් ලබා දෙන ලදී. මේ අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සහභාගී වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් කොවිඩ් 19 කාලසීමාව තුළ ලබා දී ඇති බදු සහන පිළිබඳව දැනුවත්කරමින් බදු ගෙවීමේ වගකීම් හා බදු තක්සේරුකරණය පිළිබඳව දැනුම ඉහළ නංවන ලද අතර, හිඟ බදු ගෙවීමේ කාලය දීර්ඝ කරගැනීමට හා බැංකු ඇපකර දීර්ඝ කරගැනීම හා නැවත නොගෙවන තැන්පතු සම්බන්ධයෙන් අවශ්‍ය දැනුවත්භාවය ද ලබා දෙන ලදී. එසේම මෙම සම්මන්ත්‍රණය ඔස්සේ මුල්‍ය ප්‍රකාශනයන්හි නිවැරදිභාවය පවත්වා ගැනීම, VAT බදු ගෙවීම් අනුකූලතාවය  හා වෙනත් ආශ්‍රිත මාතෘකා පිළිබඳවද දැනුම ලබා දීමට කටයුතු කරන ලදී.

 

දීපානි හේරත් මහත්මිය වරලත් ගණකාධිකාරණ ආයතනයෙහි හා කොළඹ විශ්වවිද්‍යාලයෙහි ආචාර්යවරියක් වශයෙන් කටයුතු කර ඇත. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,  ශ්‍රී ලංකා බදුකරණ ආයතනය හා ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණඥයන්ගේ සංගමය යන ආයතනයන්හි ද දේශකවරියක් වශයෙන් කටයුතු කර ඇති අත්දැකීම් බහුල අධ්‍යාපනවේදිණියක්ද වෙයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පංති සාමාර්ථයක් සහිතව ආර්ථික විද්‍යාව පිළිබඳ BA උපාධිය සමත්වූ හේරත් මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක්ද හිමිකරගෙන සිටින්නීය.  “Sri Lanka Tax Cases - සිව් වැනි වෙළුම” සැකසීම සඳහා ද හේරත් මහත්මිය සහභාගී වූ අතර, 2000/2001.2001/2002,2002/2003 වර්ෂයන්හි ආදායම් බදු අත් පොත සකස්කිරීම සඳහා ද දායකත්වය ලබා දුන් පළපුරුදු වෘත්තීයවේදිණියකි.

 

“සෙලාන් බැංකුව ආරම්භයේ සිටම රටේ දුර බැහැර ප්‍රදේශවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සංවර්ධනය වෙනුවෙන් සිය සේවාවන් ව්‍යාප්ත කරමින් කටයුතු කළ අතර, එම ක්ෂේත්‍රයෙහි ව්‍යවසායකත්ව සංවර්ධනය වෙනුවෙන් වර්තමානයේදී ද විශාල සැකිල්ලක් දක්වනවා. සුහද හදක් ඇති දේශීය බැංකුව වශයෙන් එම ව්‍යාපාර ක්ෂේත්‍රයට දැනුම ලබා දෙමින් ඒවා තවත් ඉහළට රැගෙන යාම වෙනුවෙන් අපි තව දුරටත් කැපවීමෙන් කටයුතු කරනවා. බදු ගෙවීමේ යුතුකම පිළිබඳව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් දැනුවත් කරන්නට හා ගෙවන බදු මුදල් අඩුකර ගැනීමේ නීත්‍යානුකූල ක්‍රම පිළිබඳව ඔවුන් තුළ අවබෝධය ඇතිකරමින් රටේ ආර්ථික ක්‍රියාවලියෙහි සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමට මෙම වෙබ් සම්මන්ත්‍රණය සංවිධානය කරන්නට අපි තීරණය කරා.” යනුවෙන් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ශාඛා ණය, රනිල් දිසානායක මහතා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයෙහි සංවර්ධනය වෙනුවෙන් බැංකුව දක්වන කැපවීම  පිළිබඳව සිය අදහස් දක්වා සිටියේය.

 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය විධිමත් ආර්ථිකයක් තුළ වැදගත් කාර්යභාරයක් ඉටුකරන අතර, ඒවා බොහෝ ප්‍රමාණයකට කොවිඩ් 19 වසංගතය හා පැවැති ආර්ථික අර්බුදය හමුවේ විශාල වශයෙන් බලපෑම් එල්ල විය. කෙසේ වෙතත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය එවැනි අවස්ථාවන්හිදී නැවත වේගවත් නැගී සිටීමේ ව්‍යවසායකත්ව හැකියාවකින් යුක්ත බව පෙන්වා තිබේ. පුළුල් පරාසයක පැතිරුණු මුල්‍ය සේවා හා නිපැයම් සතු බැංකුවක් වන සෙලාන් බැංකුව, අවශ්‍ය අනුමැති ලබාදීම් වේගවත්ව සිදුකිරීම සඳහා ප්‍රාදේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවා මධ්‍යස්ථාන පවත්වාගෙන යෑම හා ‘කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සම්බන්ධතා නිලධාරීන්’ පත්කර ඔවුන් හරහා මුදල් අයකරගැනීම් පමණක් නොව  අදාල කළමනාකරණයන් වඩාත් විශිෂ්ට ලෙස සිදුකිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබා ගැනීමට ද කටයුතු කරයි. රටේ ආර්ථිකයෙහි වැදගත් කාර්යභාරයක් ඉටුකරන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයෙහි සංවර්ධනය වෙනුවෙන් සෙලාන් බැංකුව ඉදිරියටත් අඛණ්ඩව සිය සේවය ලබා දීමට සූදානමින් සිටී.

 

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216 ක ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්‍ර 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK)  යන්ත්‍ර 83කට ද හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම A-(lka) සිට A (lka) දක්වා ඉහළ  දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇත. LMD මඟින්, අඛණ්ඩව 2019 සහ 2020 වසර වලදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා සැපයුම්කරු ලෙස සෙලාන් බැංකුව නම් කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.