හම්බන්තොටට ජාත්‍යන්තර ආයෝජන කලාපයක්

    October, 20, 2016

    වත්මන් රජයට වසර 2ක් සපිරෙන ලබන ජනවාරි 8දා හම්බන්තොට අක්කර 15,000ක ජාත්‍යන්තර ආයෝජන කලාපයක් සඳහා මුල්ගල් තැබෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින තිස්සමහාරාම මැතිවරණ කොට්ඨාසයේ විහාරමහාදේවිපුර "සෙබාසෙත්ගම" උදාගම්මානය ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

    මෙම ජාත්‍යන්තර ආයෝජන කලාපය හරහා අලුතින් රැකියා ලක්ෂ 5 - 10ත් අතර ප්‍රමාණයක් ඇති වන බවත් එසේම ඉදිරි වසර 5ක කාලය තුළ රජයේ රැකියා 20,000ක් හම්බන්තොට දිස්ත්‍රික්කයට ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    නව උදා ගම්මාන වැඩපිළිවෙළ යටතේ ජනතා අයිතියට පැවරෙන 10වැනි උදා ගම්මානය "සොබාසෙත්ගම" වේ.

    මෙම අවස්ථාවට සමඟාමීව පවුල් 349කට නිවාස කපරාරු කිරීම සඳහා අවශ්‍ය සිමෙන්ති ලබාදීම, පුද්ගලයන් 464දෙනෙකු සඳහා නොමිලේ ඇස් කණ්නාඩි ලබාදීම, කාන්තාවන් 47දෙනෙකු වෙනුවෙන් ස්වංරැකියා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, ශිල්පි සවිය වැඩසටහන යටතේ 151දෙනෙකු සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම මෙන් ම 469දෙනෙකු සඳහා පෙදරේරු උපකරණ ලබාදීම සිදු කෙරේ.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් උදා ගම්මාන 51ක් ආරම්භ කොට ඇති බවත් සෙසු ප්‍ර දේශවල තවත් උදා ගම්මාන 148ක් ඉදිවෙමින් පවතින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා ලබන වසරේ දී රටපුරා උදා ගම්මාන 500ක් ඉදිකිරීමට කටයුතු කරමින් සිටන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.